අල්ලස් ගත් වෛද්‍යවරයාගේ නඩුවේ විභාගය ලබන 10 වැනිදා

අගෝ 29, 2019

    කුලියාපිටිය මුලික රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍ය ආර්.එම්. තෙන්නකෝන්වෙල මහතා රුපියල් 75000/- ක අල්ලසක් ලබා ගැනිමේ නඩුවේ විභාගය ඔක්තෝබර් 10 වනදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

    ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබිණ.

    විශේෂ මහාධිකරණය නඩු විභාග කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් ස්ථාපිත කර තිබෙන හෙයින් එම නඩුව විභාග කිරීම සඳහා කඩිනම් දිනයක් නියම කරන්නැයි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

    එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුව ඔක්තෝබර් මස 10 වන දා විභාගයට ගැනීමට නියම කළා. අද අධිකරණයේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට, එදින සාක්ෂිදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරුන් අවවාද කළේය.

    රෝගීන් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රසායනාගාරයකින් රැගෙන එන පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයේ හිමිකරුගෙන් මාසිකව රුපියල් 25000/- ක් බැගින් අල්ලස් ඉල්ලා 75000/- ක මුදලක් ලබාගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට කුලියාපිටිය මුලික රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍ය තෙන්නකෝන්වෙල මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News