“ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය, ජනපති ප‍්‍රධානත්වයෙන් (වීඩියෝ)

අගෝ 28, 2019

    ෆාශියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු “ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    චීන – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාශියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව. 410දී සිදු වූ බව සැලකේ.

    උන්වහන්සේ මෙරට වසර දෙකක් වැඩ වෙසෙමින්, සිද්ධස්ථාන වැඳපුදාගත් බවත්, ධර්ම ග‍්‍රන්ථ සොයා පිටපත් කිරීමෙහි යෙදුණ බවත් ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම චීනය හා ශ‍්‍රී ලංකාව අතර බෞද්ධ පුනරුදය ඇතිවීමට ද උන්වහන්සේගේ ලංකා ගමනය හේතු වූ බව සඳහන් වෙයි.

    ශ‍්‍රී ලංකා ලූං හුවා ආයතනය, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය එක් ව ශ‍්‍රී ලංකාවේ පළමු වරට සංවිධානය කළ මෙම ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට ෆාශියන් හිමියන් උපන් පළාතේ නගර සභා නියෝජිතයන්, බෞද්ධ සංවිධාන මෙන් ම ෆාශියන් පර්යේෂණායතන යන ආයතනවල නියෝජිතයන් ද සහභාගි වී සිටියහ.

    “ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” සම්මන්ත‍්‍රණය වෙනුවෙන් ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සමරු මුද්දරයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

    ඒ වෙනුවෙන් පළ කරන ලද සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. පාසල් දරුවන් අතර පැවති චිත‍්‍ර තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ලිංෆන් ෆාශියන් සංස්කෘතික ආයතනයේ සභාපතිනිය වෙත ගෞරව සම්මානයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් දෙරට අතර සිහිවටන හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

    අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නායක ස්වාමින්වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද Shi Chun yi, Shi chang Zang යන චීන ජාතික මහා සංඝනායක හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේ ද, කථානායක කරූ ජයසූරිය, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස, අබ්දුල් හලීම් යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චං ෂුඒයුඈන්, ලූංහුවා ආයතනයේ සභාපති මහාචාර්ය හව් වේමින් යන මහත්වරුන් ඇතුළු චීන රජයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 28 අගෝස්තු 2019 20:09

    Latest News