“සේනා” මර්දනයට මහින්දගෙන් සහනයක්

නොවැ 22, 2018

    සේනා දළඹු මර්දනය සඳහා භාවිතා කෙරෙන කෘමිනාශක මිල දී ගැනීමට සියයට 50ක කෘමිනාශක සහනාධාරයක් තාවකාලිකව ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දිවයිනේ බඩ ඉරිගු ඇතුළු බෝග වර්ග සියයකට පමණ හානි කළ හැකි දරුණු “සේනා” දළඹු මර්දනයට අවශ්‍ය තීන්දු තීරණ රැසක් මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබේ.

    “සේනා දළඹුවා” Fall Army Worm යනු ඉතා ඉක්මණින් බෝවන එමෙන්ම සීග්‍රයෙන් ව්‍යාප්ත වන හා එක් රැයකින් අක්කර 1000ක වගා බිමක් වුවත් කා දමා විනාශ කළ හැකි, නිරන්තර නොසන්සිඳෙන කුසගින්නකින් පෙළෙන,  ආක්‍රමණශීලි දළඹු විශේෂයකි.

    මේ වනවිට මෙම දළඹු විශේෂය අනුරාධපුර, අම්පාර , කුරුණෑගල ඇතුළු ප්‍රදේශ  ගණනාවකින් වාර්තා වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලද සියයට 10ක පමණක් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

    අපේ රටේ වගා කෙරෙන ප්‍රධාන බෝග වර්ග තුනක් වන වී, උක් හා බඩඉරිගු වගාවන්ට අතිශයින් බලපෑමක් එල්ල කළ හැකි නිසා වහාම මෙම දළඹු විශේෂය මර්ධනය සඳහා පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (21) අමාත්‍ය මණ්ඩලයට පෙන්වා දෙනු ලැබීය.

    මේ වනවිට මෙම සත්ව විශේෂය මර්දනයට ඉවහල් වන කෘමිනාශක වර්ග හතරක්(04) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ. එමෙන්ම ඒවා මිල දී ගැනීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  ද මෙම දළඹු මර්දනය සඳහා කෘමිනාශක ඉසීමටත් මේ වනවිට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇත.

    සේනා දළඹු වසංගතයෙන් අපේ රටේ වී, බඩඉරිගු, උක් හා එළවලු ඇතුළු බෝගවර්ග සියයක් විනාශ විය හැකි බැවින් මෙම වසංගතය තුරන් කිරීම සඳහා අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන වැය කිරීමට රජය සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    එමෙන්ම මේ සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත්, සේනා දළඹුවා මර්දනය සඳහා ජෛව විද්‍යාත්මකව යොදා ගත හැකි මර්දන වැඩ පිළිවෙළවල් පිළීබඳව පර්යේෂණ සිදු කරන ලෙසත් අමාත්‍යවරයා ඊයේ පසුවරුවේ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

    Latest News