CID ශානි අබේසේකර ගැන අධිකරණයෙන් කළ ඉල්ලීමක නියෝග ලබන 23

අගෝ 20, 2019

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳ නීතිඥවරයෙක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සම්බන්ධ නියෝග, ලබන 23වනදා ලබා දෙන බවට අධිකරණය නියෝග කරයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලෙසත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඉල්ලා නීතිඥවරයෙක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝග ලබන 23වනදා ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නියෝග කර තිබේ.

    නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතා විසින් පුද්ගලික පැමිණිල්ල ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

    නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස, 2015.03.04 හා 2015.06.18 යන දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ නියෝගවලට අවනත නොවී, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම මගහැරීමෙන් ශානි අබේසේකර මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 216(ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට තමන්ගේ පැමිණිල්ලෙන් නීතිඥවරයා පෙන්වා දෙයි.

    මෙම නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශානි අබේසේකර මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙසත්, මෙම නඩු කටයුත්තට සහභාගී නොවී විදේශ ගතවීමට ශානි අබේසේකර මහතා කටයුතු කරන බව තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    Latest News