ආණ්ඩුවේ ස්ථාවරත්වයක් හෝ ජනපති බලතල නොමැතිව කළ සංවර්ධනයක් (විඩියෝ)

අගෝ 18, 2019
  • ආණ්ඩුවට, ස්ථාවර බලයක් හෝ ජනාධිපති බලතල නොමැතිව විවිධ අභියෝග මධ්‍යයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට තමන්ට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ, නුදුරේදී සියලු බලතල හා ස්ථාවර භාවය ඇති කරගෙන සංවර්ධනය තවත් වේගවත් කරමින් රටේ දියුණුව දස ගුණයකින් වැඩි කරන බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මාවතගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානට පැමිණියේය. එහිදී ආගමික වතාවත්වල නිරතවූ අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ ඉදි කෙරෙන බහු කාර්ය සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කළේය.

    අනතුරුව, මාවතගම, පරගහදෙණිය ජාතික පාසලේ ඉඳි කෙරුණු පරිපාලන ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණ. ඊට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 12ක්. රුපියල් ලක්‍ෂ 580ක වියදමින් ඉදි කෙරුණු මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ද සිසු අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

    මාවතගම නව මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරය සහිත සිව් මහල් ගොඩනැගිල්ල ද විවෘත කෙරිණ. ඊට වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 920ක්. අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු හිමිකම්පත් බෙදාදීමේ උත්සවයට එක්විය. එය පැවැත්වුණේ, මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී.

    අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කෙරිණ. ඇතුගල්පුර කුමර විද්‍යාලයේ නව සිව්මහල් ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 210ක්. එය ඉදි කෙරුණේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ. කුරුණෑගල දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ද සිසු අයිතියට පත් කෙරිණ. ඊට වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 280ක්. යන්තම්පලාව සුන්දරාපොල කසළ අංගනයේ කසළ කළමණාකරණ ව්‍යාපෘතිය ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. මහා සංඝරත්නය, අමාත්‍ය වජිර අබේවර්ධන, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:35

    Latest News