ජාතික ආරක්ෂාවට අපහාස වන ප‍්‍රකාශවලින් වළකින්න - ජනපති

අගෝ 16, 2019

    රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප‍්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප‍්‍රදානය සංකේතවත් කරමින් රණ පරශුව සහ රෙජිමේන්තු පරශුව සම්මාන ප‍්‍රදානය කිරීමේ උලෙළට අද (16) පෙරවරුවේ එක් වෙමිනි.

    මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පටු දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනුවෙන් මාතෘ භූමියේ සහ ජාතියේ අනාගතයට හානිවන ආකාරයේ ප‍්‍රකාශ කිසිවෙකු සිදු නොකළ යුතු බවයි. රටේ ජාතික ආරක්ෂාව, නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ඉටුකරන මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම සදා ණයගැති බවයි. පහත් පෙළේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ එම අමිල සේවය අවතක්සේරු කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එදා හමුදාවට නායකත්වය ලබාදුන් ඇතැමුන් විසින්ම පටු දේශපාලන න්‍යාය පත‍්‍රවලට මුවාවී සිදුකරන එම අවිනීත ප‍්‍රකාශ පිළිබඳ ව දැඩිව කනගාටු වන බවද කියා සිටියේය.


    රජය ආරක්ෂක අංශ සමඟ එක්ව මේ වන විට රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන අතර යළිත් එවන් ත‍්‍රස්ත ක්‍රියාවකට ශ‍්‍රී ලංකාවේ කිසිදු ඉඩක් නොමැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.


    නාවුල රෙජිමේන්තු බලකා මූලස්ථානය වෙත අද පෙරවරුවේ ගිය සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් සහ අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය. එම පරිශ‍්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පළමුව ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්වීය. වීරත්වයේ සංකේතයක් වන පෞරාණික රණ පරශූ සම්මානය ප‍්‍රදානය කෙරුණු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.


    විශේෂ බලකාය ජීවිත පරිත්‍යාගයෙන්, මාතෘ භූමිය ආරක්ෂා කිරීමෙහි ලා ඉටු කරනු ලැබ අනගිභවනීය සේවය අගයනු වස් වර්ණ රෙජිමේන්තුවක් භාවිත කරනු ලබන සෑම අවස්ථාවකම ඒ හා සමානව භාවිත කළ හැකි විශේෂ ජනාධිපති රණ පරිශූ සම්මානය හා රෙජිමේන්තු රණ පරශු සම්මානය ප‍්‍රදානය කිරීම විශේෂ බලකායට අභිමානවත් වරප‍්‍රසාදයක් මෙන් ම ගෞරවයක් ලෙස සැලකේ.


    මේ අතර විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකෙරුණු මූලස්ථාන කාර්යාලය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් විශේෂ සමරු සටහනක් ද තැබීය. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් මහතා ඇතුළු හමුදා ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News