මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පෙත්සම් 3ක් ප්‍රතික්ෂේප වෙයි

අගෝ 09, 2019

    මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බවට තීන්දු කර ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    එල්ල.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබීය. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි මහාචාර්ය සී. ගුණරත්න මහතා ඇතුළු පාර්ශව තුනක් විසින් පෙත්සම් ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට පාදක වී තිබෙන යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුව දැනටමත් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන තිබෙන බවයි.

    පාර්ලිමේන්තුව හමුවේ පැවැත්වෙන මෙම ක්‍රියාදාමය පිළිබඳව අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණයට බලයක් නොමැති බවද රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය. පෙත්සම්කරුවන් කියාසිටින්නේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට අදාළ ප්‍රතිපාදන ඇතුලත් යෝජනාවක් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ඉකුත් අගෝස්තු මස පළමුවනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවයි.

    එම යෝජනාවේ අන්තර්ගත කිසිදු වගන්තියකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු නොවන බව ඔවුන් පෙන්වා දෙති. ඒ අනුව අදාළ මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සිකුරාදා, 09 අගෝස්තු 2019 14:42

    Latest News