කාලගුණය ගැන ධීවරයින්ට රතු එළියක්

අගෝ 07, 2019

    බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශය ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලබන 09 වන දින දක්වා ධීවර කටයුතු වල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

    උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතියි. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    අද (07) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව සඳහන්. බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැක.

    ඉදිරි දින කිහිපයේදී, උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක. උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල, අගෝස්තු මස 09 වන දින දක්වාද, උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල අගෝස්තු මස 11 වන දින දක්වා ද ධිවර සහ නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව දැනුම් දෙනු ලැබේ.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

    පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 80 දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතී.

    හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දන්වා තිබේ.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 12:48

    Latest News