සීතාවක ව්‍යාපෘතියට ජනතාව අකමැතිනම් නවතා දමන්න...ඇමති රවී

අගෝ 06, 2019

    සීතාවක ගග ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශයට ගංවතුර, නායයාම් වැනි පාරිසරික තර්ජන එල්ල වියහැකි යැයි පවසමින්, ප්‍රදේශවාසීන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ.

    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු විසදුමක් ලබාගැනීමේ අරමුණෙන්, හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම්, ව්‍යාපෘතිබාර නිලධාරීන් ඇතුලු පිරිසක් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවීමට එම අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණියහ.

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් දිගුකාලින ජනන සැලැස්ම සකස් කරනු ලබන්නේ අවම පිරිවැයක් යටතේ විදුලිය ජනනය කිරිමටය. එහිදී ජලය, සුළග, සූර්යතාපය, ගල් අගුරු, ඩීසල්, දැවිතෙල්, ගෑස් වැනි විවධ ප්‍රභවයන් භාවිතය ජාතික පද්ධතියේ අවශ්‍යතාවය සහ පිරිවැය මත සලකා බැලේ. වසර 2015 - 2034 ජනන සැලැස්ම අනුව සීතාවක ගග ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකර වසර 2022 දී ජාතික පද්ධතියට වසරකට ගිගාවොට් පැය 54 ක් ඒක කිරීමට ඇස්තමෙන්තු කර තිබේ.

    මේ වනවිට සීතාවක ගග ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ පාරිසරික අධ්‍යයන වාර්තාව සකසා පරිසර අධිකාරිය වෙත යොමු කර තිබේ. සීතාවක ගග ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියෙහි ජලාශය වෙනුවෙන් යටවන භූමි ප්‍රමාණය අක්කර 98 කි. ඉන් වැඩි කොටසක් එනම් අක්කර 56 ක් සීතාවක ගඟම වේ. ඉතිරි බිම් ප්‍රමාණයෙන් අක්කර 22 ක් ලලාන් වැවිලි සමාගමට අයත්වන අතර පුද්ගලික ඉඩම් යටවන්නේ අක්කර 16 ක් පමණි ඉතිරිය ප්‍රාදේශීය ලේකම් දෙහිඕවිටට අයත් රජයේ ඉඩම් වේ.

    සීතාවක ගඟ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වන නිවාස නොවන ඉදිකිරීම වන්නේ රූකාසල් පාලම සහ එහි ප්‍රවිෂ්ඨ මාවත පමණි. මේ සදහා පහසුවෙන් වාහන වලට යා හැකි කොන්ක්‍රීට් පාලමක් සහ ප්‍රවිෂ්ඨ මාවත ඉදිකිරීම සදහා රු.මිලියන 150 ක් වෙන්කර තිබේ. ඉහත බලපෑමට ලක්වන කොටසට අමතරව දීගල මාර්ගයෙන් නිරන්තරයෙන් ජල ගැලීමට ලක්වන 40 කඩේ හන්දියේ සිට කි.මී. 01 ක් පමණ පිළිසකර කිරීමට කටයුතු සලසා ඇත. තවද උඩයෝගම සහ මල්දෙනිය යාකරමින් නව පාලමක් ඉදිකිරීම සහ ඉරහඳ පාන අසලට පහසුවෙන් යාහැකි මාර්ගයක් ඉදිකිරීම වැනි ප්‍රතිලාභ රැසක් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයට හිමිවේ.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 16:37

    Latest News