මිණිපේ අමුණ උසින් වැඩි කෙරේ (වීඩියෝ)

අගෝ 03, 2019

    මහවැලි ගඟ හරස් කොට ඉදිකර ඇති මිණිපේ අමුණ උසින් වැඩි කෙරේ.

    මහවැලි ජල සුරක්‍ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 260ක්. රජ සමයේ ඉදිකර ඇති මිණිපේ අමුණ පසු කාලයේ විවිධ ප්‍රතිසංස්කරණවලට ලක්කර තිබේ. වත්මන් මිණිපේ වම්ඉවුරු ඇල පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ වේල්ලේ උස වැඩි කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, රාත්‍රී කාලයේ රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් පිටවන ජලය වැඩි ප්‍රමාණයක් එහි රඳවා තබා ගනිමින් මිණිපේ වම් ඉවුරු ඇල වෙත ක්‍රමවත්ම නිකුත් කෙරේ.

    හිඟයකින් තොරව ලැබෙන ජල ධාරිතාව හේතුවෙන් මහවැලි ගඟ පහළ කොටසේ වඩාත් යහපත් පාරිසරික තත්වයක් නිර්මාණය වේ. ඉන් සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 15,000කට අධිකයි. වස්ගමුව ජාතික උද්‍යානයේ පිහිටි කඳුරුපිටිය කුඩා පොකුණට ජලය ලබාදී වියළි කාලයේදී වන සතුන් මුහුණපාන පානීය ජල හිඟයට පිළියම් යෙදීම ද මෙමගින් සිදු කෙරේ. කිලෝ මීටර 74ක් දිගින් යුත් ප්‍රධාන ඇලෙහි අරීය ගේට්ටු වැඩි දියුණු කිරීම ද ව්‍යාපෘතියට ඇතුළත්. ඇළ මාර්ගයේ හඳුනාගත් ස්ථානවල ජල පාලන නිර්මිතයන් අලුතින් ඉදිකිරීම සහ පරණ නිර්මිත අලුත්වැඩියා කිරීමට ද නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 03 අගෝස්තු 2019 20:00

    Latest News