කෘෂි නිෂ්පාදන අපනයන වෙළඳපොළට යොමු කිරීමට පියවර - අගමැති (වීඩියෝ)

අගෝ 03, 2019

    මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සව කිහිපයකට අද (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

    ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබාගැනීමට හැකි වන පරිදි කෘෂි ආර්ථිකයේ නවීකරණයක් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර කිහිපය තුළදී එම වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් කෘෂි නිෂ්පාදන අපනයන වෙළඳපොළට යොමු කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යතුමා අද මොණරාගලදී පැවසීය.

    2015 දී බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව රටේ සෑම ප්‍රදේශයකම පුළුල් සංවර්ධනයක් ඇති කළ බව පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව යටතේ රුහුණේ නවෝදයක් ඇති කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කතරගම, බඩල්කුඹුර සහ සියඹලාණ්ඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාර සහිත ගොඩනැගිලි තුනක් විවෘත කළ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ වගා හානිවූ ගොවි ජනතාව සඳහා වන්දි පිරිනැමීමේ උත්සවයක් ද පැවැත්විණි.

    කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බුත්තල වැල් දොඩම් වගා ව්‍යාපෘතිය ද වික්‍රමසිංහ මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “2015 බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පුළුල් සංවර්ධනයක් මේ රටේ ආරම්භ කළා. එහි ප්‍රතිලාභ මේ වන විට ජනතාවට ලැබෙමින් පවතිනවා.
    මේ රජයේ ප්‍රධාන අරමුණක් වුණේ රටේ නවීකරණයක් ඇති කිරීමයි. අද වනවිට රටේ සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් අප ඇති කර තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සිදුවෙනවා. මෙමගින් කෘෂි නිෂ්පාදනය වැඩි කරගනිමින් අපනයන අංශය තවත් පුළුල් කිරීමට අප පියවරගෙන තිබෙන බව කිව යුතුයි.”

    “මේ වන විට කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු රටේ අනෙකුත් අංශවල නවීකරණය ආරම්භ වී තිබෙනවා. අපේ බලාපොරොත්තුව ඉදිරි අවුරුදු 10 තුළ මේ රට අපනයන ආර්ථිකයකට යොමු කිරීමටයි. එහිදී මූල්‍ය කටයුතු නිෂ්පාදන හා සංචාරක කටයුතු පමණක් නොව කෘෂිකර්මාන්තය ද අපනයනය සඳහා යොමු කළ යුතුයි. මේ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය දියුණු කළ හැකි නවීන ක්‍රම හඳුන්වා දිය යුතුයි. එමගින් ගොවි ජනතාව නිෂ්පාදනය කරන එළවළු, පළතුරු ඇතුළු අනෙකුත් නිෂ්පාදන අපනයනය කර ගොවි ජනතාවට ඉහළ මිලක් ලබාගැනීමට හැකි පසුබිමක් අප ඇති කරනවා.”

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ විශාල සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සිදුකර ඇති බවයි.

    මොණරාගල ප්‍රදේශයට පැවැති නියඟය නිසා ගොවි ජනතාවගේ වගාවලට දැඩි හානියක් සිදුව තිබෙන බවත්, ඒ සියලූ දෙනාට වන්දි ලබාදීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බව පැවසීය.

    දිස්ත්‍රික් පරිපාලනය හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා 2015 සිට වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙළ ඉතාම සාර්ථක වී තිබෙන බව එහිදී අදහස් දැක්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    රටට යහපත් අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරදක්නා නුවණින් ක්‍රියා කරමින් සිටින බවත් එතුමා සිදු කරන ඒ යුග මෙහෙවරට රටේ සියලූ පාර්ශ්වයන්ගේ ගෞරවය හිමිවිය යුතු බවත් අබේවර්ධන මහතා පැවසීය.

    2002 වසරේ බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව වැල්ලවාය ප්‍රදේශයට ගුවන් තොටුපොළක් ඉදිකර දීමට සැලසුම් කර තිබුණ ද පසුගිය ආණ්ඩුව එය හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන යමින් මොණරාගල ජනතාවට බලවත් අසාධාරණයක් සිදු කළ බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

    මෙම අවස්ථාවන්වලට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න, මොණරාගල දිසාපතිනි ඩී. එස්. පද්මකුලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් සහභාගී වූහ.

    Last modified on සෙනසුරාදා, 03 අගෝස්තු 2019 20:02

    Latest News