විශ්වාසභංග යෝජනාවේදී ව්‍යවස්ථාව රකින්න

නොවැ 17, 2018

    විශ්වාසභංග යෝජනාවක් නීත්‍යානුකූලව සම්මත කරගැනීමට නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියාපටිපාටිවලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත යුතු බව, අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    ඉකුත් අප්‍රේල් මාසයේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය එලෙස සම්ප්‍රදායානුකූලව සහ නීත්‍යානුකූලව ඉදිරිපත් කරන ලද්දක් බවයි, අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.අගමැතිතුමාට විරුද්ධව කතානායකවරයාට බාරදිය යුතු විශ්වාසභංග යෝජනාව සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අත්සන් කළ යුතුවේ.

    අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකවරයා විසින් විමසිය යුතු බව, අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්වරයා කතානායකවරයාට දැනුම් දීමෙන් පසු අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුතුවේ. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍රණය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදාහැරිය යුතු බව, විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවල සඳහන් වී ඇත.

    විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු විවාදයට භාජනය කිරීමේ අවස්ථාව සැලසෙන්නේ වැඩකරන දින 05කට පසුව වේ. න්‍යාය පුස්තකයේ සඳහන් වී ඇති ආණ්ඩුවේ කටයුතුවල ප්‍රමුඛස්ථානය නියම කරනු ලබන්නේ සභානායකවරයාවේ. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසු එය විවාද කිරීම සඳහා සභානායකවරයාගේ සහ ආණ්ඩු පක්‍ෂයේ කැමැත්ත ඇතිව ලබාදිය හැකි ආසන්නම දිනය තීරණය කළ යුතුවේ.

    ඉන් අනතුරුව සිදුවන්නේ, අදාළ දිනයේ න්‍යාය පත්‍රයට යෝජනාව ඇතුළත් කොට එදිනට විවාදයට ගන්නා බවට දැනුම් දීමයි. විශ්වාසභංගය විවාද කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂයටත්, විපක්‍ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණ කළ යුත්තක්. අදාළ දිනයේ දී විවාදය පවත්වා ඡන්දය විමසා ප්‍රකාශ කිරීමෙන් පසු එදින හැන්සාඩ් වාර්තාව නිකුත් කිරීම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායයි. එම ක්‍රියාවලිය සම්ප්‍රදායානුකූලව සහ නීත්‍යානුකූලව සිදුකිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News