මහින් රාජපක්ෂ - නව ආණ්ඩුවකට අවස්ථාවක් ලබා දුන්නා (විඩියෝ)

දෙසැ 15, 2018
  • ඉදිරි තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහාත් තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    කොළඹ විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ සිට අද උදේ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා - අපි කැදවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් නිසා එය හදාරා බලා, ඒකෙන් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම ගැන අපි පසුව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී කතා කරන්නෙ කැඳවපු මහ මැතිවරණය පවත්වන්න බැරි නිසා ඇතිවෙන දේශපාලාන තත්වය ගැනයි. අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නෙ ජනාධිපතිවරයා නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසිරෙවුවට පස්සෙ, මැතිවරණ පවත්වනවට විරුද්ධ හවුල උසාවි ගිහිල්ලා තාවකාලික වාරණ නියෝගයක් අරගෙන යූ.එන්.පී කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවල තිබුණුපාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඒගොල්ලන්ට තියෙනවයි කියලා පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුනා. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොනවද කියලා ජනතාවටහරියටම පෙනුණෙ දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති හැටියට පත් කරන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවසෙයි.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ටී.එන්.ඒ එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, ටී.එන්.ඒ එක රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත්. ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න යූ.එන්.පී සුළුතරය ටී.එන්.ඒ එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි.

    නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වෙනිදා, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කලා. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. එතකොට 2019 දෙසැම්බර් 9 වෙනිදාට ඉස්සෙල්ලා නියමිත ජනාධිපතිවරණය පවත්වන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙනවා.

    ආණ්ඩුවෙ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වුණු නිසා, ‘ජාතික ආණ්ඩුවක්’හැටියට ව්‍යවස්ථාවේ 46(4) සහ 46(5) වගන්ති වල විශේෂ විධිවිධාන යටතේ පිහිටුවලා තිබ්බ ඒ ආණ්ඩුව ඉබේම බිඳ වැටුණා. 1994, 2000, 2001, 2004, 2015 සියලුම මහමැතිවරණ වලින් පස්සෙ ආණ්ඩු පිහිටුවන්න ආරාධනා ලැබුණෙ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත්, විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායමටයි. කලින් ආණ්ඩුවක් පිහිටුවලා, පස්සෙ තමයි ඒ හැම අවස්ථාවකම බහුතරය හදාගත්තෙ. රට ගෙන යන්න සුලුතර ආණ්ඩුවක් හොදටම ප්‍රමාණවත්.

    මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම දැන් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්‍යයෙන්ම ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඒකාබද්ධ විපක්‍ෂයත් ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ෂවයත් එකට ගත්තාම දැනටම රටේ ඡන්ද වලින් 54% ක් පමණ නියෝජනය වන ඉතාමත්ම ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි එක්ක දැනටමත් ඉන්න, ඡන්ද පදනමක් තියෙන, උතුරු නැගෙනහිර හා කදුරට පක්‍ෂ ගණනාවකුත් එකතු වෙනවා. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නෙ, කිසිවෙකුටත් නවත්තන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ, දැනටමත් අවුරුද්දකුත් මාස තුනක් පමණ ප්‍රමාද වෙලා තියෙන පලාත් සභා මැතිවරණය පවත්වා ගැනීමයි. 2015 ඉඳලම අපි සමඟ නොසැලී සිටි ජනතාව ඉදිරියේදීත් අපි සමඟ රට බේරාගැනීමේ මෙහෙයුමට එක්වන බවට මට කිසිම සැකයක් නෑ යැයි ඔහු කියා සිටියේය.

    Last modified on ඉරිදා, 16 දෙසැම්බර් 2018 12:47

    Latest News