අයථා ලෙස වත්කම් ඉපැයීමට එරෙහි විමල්ගේ නඩුව අගෝ.8 යළි

ජූලි 29, 2019

    රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අගෝස්තු මස 8 වැනිදා යළි කැඳවන ලෙස අද කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැදවනු ලැබීය. එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ පරිගණක සාක්ෂි වශයෙන් හැටන් නැෂනල් බැංකුව , මහජන බැංකුව , සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම යනාදී සමාගම්වල ප්‍රධාන ශාඛා මගින් නිකුත් කළ ලේඛන කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ඒවා උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීම සඳහා එම ආයතන තමන්ට මෙතෙක් අවසර ලබාදී නොමැති බව දැනුම් දුනි.

    එහිදී විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්ති නීතිඥවරුන්ට දැනුම් දුන්නේ පරික්ෂා කිරීමට අවශ්‍ය ලේඛන මොනවාද යන්න පිළිබඳව තමන් වෙත දැනුම් දෙන්නැයි ප්‍රකාශ කළේය.ඉන් අනතුරුව ඒවා පරික්ෂා කිරීමට අවශ්‍ය සුදුසු නියෝග අදාළ ආයතන වෙත ලබා දීමට කටයුතු කරන බවද විනිසුරු හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම කටයුත්ත සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සදහා නඩුව නැවත අගෝස්තු මස 8 වනදා කැඳවීමට අධිකරණය නියම කළේ.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 70 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Last modified on සදුදා, 29 ජූලි 2019 12:06

    Latest News