ආනයනික කසල වෙනත් ස්ථානවලට බැහැර නොකරන බවට අධිකරණයට ප්‍රතිඥාවක් ...

ජූලි 25, 2019

    විදේශවල සිට ආනයනය කර මෙරට බහලුම් තුළ රඳවා තිබෙන රෝහල් අපද්‍රව්‍ය ඇතුළු කැලිකසල වෙනත් ස්ථාන වලට රැගෙන යාමට හෝ බැහැර කිරීමට අවසර නොදෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

    නීති විරෝධී ලෙස කැලිකසල මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝගයක් පනවන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබෙන කැලිකසල අඩංගු බහලුම් ගණනාවක් මේ වන විට රට තුළ රඳවා තිබෙන බවත් ඒවා පරිසරයට මුදා හරිනු ලැබූවොත් විශාල හානියක් සිදුවිය හැකි බව දන්වා සිටියේය.

    එම නිසා අදාළ බහාලුම් විවෘත කර ඒවායේ අඩංගු අපද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාම වැළැක්වීමට කටයුතු කළ යුතු බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අදාල බහලුම් තුළ අන්තර්ගත බව කියන ද්‍රව්‍ය වෙනත් ස්ථානවලට රැගෙන යාමට අනුමැතිය නොදෙන බවට අධිකරණය හමුවේ පොරොන්දු විය. එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නේ නම් ඒවා රටේ පවතින නීතියට අනුව සිදුකරන ලෙසයි මෙහිදී අධිකරණය විසින් රජයේ නීතිඥවරයාට දන්වා සිටියේය. අනතුරුව පෙත්සම ලබන සඳුදා කැඳවීමට ද නියම කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 15:16

    Latest News