UNP ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ බිහිවිමේ හිලිදරව්ව

ජූලි 23, 2019

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නමින් නව සන්ධානයක් ලබන මස 05 වන දා බිහි කරන බවත්, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සන්ධානගත වන සියලූ දේශපාලන පක්ෂ වල අනන්න්‍යතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව ද වික්‍රමසිංහ මහතා අවධාරනය කළේය.

    අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අවිස්සාවේල්ල නගරයේ පැවැති ජන හමුව අමතමිනි.

    ජන හමුවට පෙර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාදුක්ක නාගරික ක්‍රීඩාංගනය සහ හංවැල්ල සති පොළ විවෘත කිරීමට ද සහභාගි විය. අනතුරුව කොස්ගම, මිරිස්වත්ත මුණ්ඩිගල ආරණ්‍ය සේනාසන ප්‍රවේශ මාර්ගය විවෘත කළ වික්‍රමසිංහ මහතා, මුණ්ඩිගල ආරණ්‍ය සේනාසනයට ගොස් එහි විහාරාධිපති මිල්ලෑවේ මහින්ද හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ද ලබා ගත්තේය.

    අවිස්සාවේල්ල නගරයේ ජන හමුව අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය........

    “2015 අපේ ආණ්ඩුව බලයට පත් වන විට ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වී පැවැතුණා. ණය ආධාර ලබා ගැනීමටවත් හැකියාවක් අපට තිබුණේ නැහැ. රට මත විශාල ණය බරක් පැටවී තිබිය දී අපි ක්‍රමානුකූලව මේ අභියෝග ජය ගනිමින් ඉදිරියට පැමිණියා. ඒ අනුව මෙරට ණය ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයා හැකි බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති කිරීමට පසුගිය වසර හතරක කාලය තුළ අප කටයුතු කළා. රටේ ණය ස්ථාවර භාවයක් පැවතියත් එම විශාල ණය ප්‍රමාණය අනාගත පරපුරට ඉතිරි කළ නොහැකියි. ඉදිරි වසර පහක කාලය තුළ ආයෝජන ලබාගෙන රටේ සංවර්ධනය ඇති කරමින් අතිරික්තයක් සහිත ආර්ථිකයක් බිහි කිරීම අපේ ඉලක්කය බව කිව යුතුයි.”

    මෙම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුලූ සර්ව ආගමික නායකයින්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න යන මහත්වරු ප්‍රමුඛ දේශපාලනඥයින් ද, රාජ්‍ය නිලධාරීන් ද ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියහ.

    Latest News