කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය දැඩිව ප්‍රතික්ෂේප කරනවා....ජනපති

ජූලි 17, 2019

    කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට අද (16) පස්වරුවේ එක් වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රේල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඬුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවයි.

    මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩනය හිමිවන අතර මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඬුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මහබැංකු මංකොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිලි සාක්ෂි තිබෙන අතර නීති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.

    සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය වීම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    අද පස්වරුවේ පැළෑද රජමහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.
    අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ඉදිකිරීම් විවෘත කළ ජනාධිපතිතුමා ඒවා නිරික්ෂණය කිරීමට ද එක් විය.

    පැළෑද රජමහා විහාරාධිපති, පාලින්දනුවර ප්‍රධාන සංඝනායක පූජ්‍ය දේවමුල්ලේ කල්‍යාණවංශ නායක හිමිපාණන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. නව ඉදිකිරීම් සඟ සතු කොට පූජා කිරීමට අදාළ සන්නස් පත්‍රය ජනාධිපතිතුමා විසින් කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ වෙත පූජා කළේය.

    පූජ්‍ය පිඹුරේ උදිත මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරු පිරිසක් ද, දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News