සංඝරත්නය ගැන රාජ්‍ය ඇමති රන්ජන්ගේ ප්‍රකාශයට අගමැති පැහැදිලි කිරිමක් ඉල්ලයි

ජූලි 15, 2019

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සංඝරත්නය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳව පැහැදිලි කිරීමක් මේ මස 21 ට පෙර ලිඛිතව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි. ඔහු දැක්වු අදහස පක්ෂක නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමග පරස්පර බවද එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

    තම පවුලේ සාමාජික සාමාජිකාවන් පාරම්පරිකව බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූ බවත් එමගින් පෙන්වා දි තිබේ. එවැනි පසුබිමෙක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරණ බවත් අවධාරණය කර ඇත.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක මහතා වෙත යොමු කළ ලිපිය

    රන්ජන් රාමනායක මහතා,
    මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    හිතවත් රාජ්‍ය අමාත්‍යතුමෙනි,

    ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී ඔබ දැක්වූ අදහස් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වී ඇත. මහා සංඝරත්නය විෂයයෙහි ඔබ දැක්වූ එකී අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් 2019 ජූලි 21 වන දා ට පෙර මා වෙත ලිඛිතව යොමු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.
    ඔබ පළ කර ඇති අදහස් පක්ෂක නායකත්වයේ හා පක්ෂියේ අදහස් සමග පරස්පර බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.
    පාරම්පරිකව අප පවුලේ සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූවෝ වෙති. කැළණිය රජමහා විහාරය, ගංගාරම විහාරය ප්‍රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලා වෙත සිව්පසය සපයමින් ඔවුන්ගේ අධ්‍යයන හා ශාසනික කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කරන්නෙමු.
    එවැනි පසුබිමෙක ඔබේ ප්‍රකාශයේ සඳහන් කරුණු අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

    මෙයට,
    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    2019. 07. 15

     

    Latest News