ඉදිරි දෙවසර තුළ ජාතික ප්‍රශ්නයට ස්ථිරවම දේශපාලන විසඳුමක්; අගමැති (වීඩියෝ)

ජූලි 15, 2019

    ඉදිරි වසර 2ක තුළ ස්ථිර වශයෙන්ම ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට තමා උපරිමයෙන් කැපවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ගතවූ වසර කිහිපය තුළ දැඩි උත්සාහයක් ගෙන ක්‍රියා කළ ද, වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීම නිසා එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. යාපනය, චුන්නාගම්, කන්දරෝඩෛයි ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වැනි සංවත්සරයට සහ ත්‍යාග ප්‍රදාන උත්සවයට අද (15) පෙරවරුවේ එක්වෙමින්, අග්‍රාමාත්‍යවරයා අද මේ බව කියා සිටියේය.

    අග්‍රාමාත්‍යවරයාව පිළිගනු ලැබුවේ, විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසුන් විසින්. නව ශ්‍රවණාගාරය සඳහා මුල්ගල තැබූවේ, අග්‍රාමාත්‍යවරයායි. අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ඊට වැය කෙරෙන මුදල රුපියල් පන් කෝටි අසූ ලක්‍ෂයක්. සංවත්සරයට සමගාමීව පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.

    විවිධ ජාතීන්ගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත පුරවැසියන් ලෙස තරග කොට ලෝක කුසලානය ජයග්‍රාහණය කිරීමට සමත් වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසර දහසක් තිස්සේ විවිධ ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වන අප ද ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා......
    අපි දේශපාලන විසඳුමකට ඉතාමත් ළඟාවී තිබෙන බව මා කියන්න කැමැතියි. මීළඟ අවුරුදු දෙකක් තුළදී එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බරයෙන් ජීවත් විය හැකි පරිසරයක් එමගින් උදා කරගත හැකියි. අපි කුමන ජාතියකට අයත් වුණත් අපි ශ්‍රී ලාංකිකයෝ යන අනන්‍යතාවයට මා කැමැතියි. මෙහි සිටින සියලූදෙනාම ඒ ආකාරයට සිතිය යුතුයි. මෙවර ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරඟයෙන් ඊයේ සත්කාර එංගලන්ත කණ්ඩායම ජයග්‍රා හණය කළා. එංගලන්තය සමග අපට සමීප සබඳතා තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ නායකයා, හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා යන තුන්දෙනාම විදේශ රටවලින් එංගලන්තයට සංක්‍රමණය වූ ක්‍රීඩකයන් බව කිව යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපිත් අවුරුදු දහසක ඉදන් විවිධ ජාතීන් සමග සහයෝගයෙන් ජීවත් වෙනවා. ඒ අය ශ්‍රී ලාංකික ජාතියක් විදිහට සිතිය යුතු යුගය දැන් එළඹිලා තිබෙනවා."

    රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ සරවනපවන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 15 ජූලි 2019 20:31

    Latest News