සන්ධ්‍යාගේ පෙත්සමට කරුණු කියන්න ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපතිට කල් දෙයි

ජූලි 10, 2019

    සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වසර 6 ක සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එමෙන්ම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති, ජනාධිපති ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පාර්ශව කීපයක් වෙත නොතීසි යවන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

    පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් වසර 19 ක සිරදඬුවම් නියම කර එය වසර හයකින් ගෙවිය යුතු බවට තීන්දුවක් ලබා දුන් බවයි. එවැනි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තුළින් ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on බදාදා, 10 ජූලි 2019 12:08

    Latest News