මත්කුඩු ළඟ තබාගත් අඹුසැමි යුවලකට ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම්

ජූලි 04, 2019

    2003 වසරේ කොළඹ, වෝඩ් පෙදෙසේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු අඹුසැමි යුවළට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් 2003 වසරේ නොවැම්බර් මස 28 වනදා කොළඹ වෝඩ් පෙදෙසේ සුපිරි නිවසක් තුළ සිදුකළ වැටලීමකදී එහි සඟවා තිබු හෙරොයින් මත්කුඩු කිලෝ ග්රෑම් 23 අත්අඩංගුවට ගැනිණ.

    එම මත්කුඩු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මොහොමඩ් ෂියාම් නැමැත්තෙකු මෙන්ම ඔහුගේ බිරිඳ වන මුර්ෂිඩා සියාම් යන අය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2007 වසරේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය මොහොමඩ් සියාම් නමැති විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළ අතර ඔහුගේ බිරිඳවන මුර්ශිඩා ෂියාම් නමැත්තියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

    කොළඹ මහාධිකරණය මගින් පනවා ඇති එම දඬුවම් නීති විරෝධී යැයි සඳහන් කරමින් ඒවා අහෝසි කර තමන්ම නිදොස්කොට නිදහස් කරන මෙන් ඉල්ලා එම අඹුසැමි යුවළ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ.

    දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුවන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ දඩුවම ස්ථිර කරන බව නියෝග කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 14:54

    Latest News