පලාත් සභා ඡන්ද පෙත්සම විභාගයට: මැතිවරණ කොමිසමට නොතිසි

ජූනි 17, 2019

    කල් දමා තිබෙන පළාත් සභා ඡන්දය වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

    ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබිණ.

    මෙම පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා නොකරන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා දන්වා අධිකරණයට දන්වා සිටියේය. සීමානිර්ණය කටයුතු වලින් පරිබාහිරව දැනට පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිමය අර්ථකථනයක් ලබා ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥ ඉහලහේවා අධිකරණයට පැවසීය.

    පළාත් සභා මැතිවරණය දිනෙන් දින කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට දැනුම් දිනී. ඡන්දය කඩිනමින් පැවැත්වීම අවශ්‍ය බව නීතිඥ කනිෂ්ක විතාරණ අධිකරණයට කියා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් වන මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙත නොතිසි නිකුත් කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කලේය. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට නියෝග කෙරිණ. විරෝධතා හෝ කරුණු දැක්වීම් අද දින සිට මාසයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය.

    පෙත්සම සැප්තැම්බර් මස 09 වනදා කැඳවන මෙන් ද ශ්‍රේඨාධිකරණය නියම කළේය.

    Last modified on සදුදා, 17 ජූනි 2019 15:56

    Latest News