වසර 20කට පසු දේශපාලකයින් පිරිසකට පොට වරදී

ජූනි 17, 2019

    අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති හා තලාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තඹුත්තේගම වැඩ බලන මහේස්ත්‍රාත් පුෂ්පානී වික්‍රමරත්න මහත්මිය නියෝග කළේය. 

    එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වරයා වූ අනුරාධපුර ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට 1999 ජනාධිපතිවරණයේ දී යුදහමුදාව භාවිතා කරන අත්බෝම්බයකින් පහරදී දේපළවලට හානි කිරිමේ සිද්ධියට වසර විස්සකට පසුව තඹුත්තේගම මූලස්ථාන පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
    එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් වූ ජගත් චන්ද්‍රසිරි, නිහාල් වන්නිආරච්චි රාජංගණය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා වත්මන් උපසභාපති සමන් නිල්මිණි වීරසිංහ, රංජිත් ගුණපාල, තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති හා උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ පුත් ඉන්දික උදයකුමාර තෙන්නකෝන්, උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එම්. ආර්. සිරිපාල හා අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස යන සැකකරුවන්ය පිරිසක් රක්ෂිත බන්ධනාගාර ලත කිරි සිදුවුයේය. ඔවුන් රාජංගනය තඹුත්තේගම හා අනුරාධපුර පදිංචිකරුවන් වන අතර මේවන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සමාජිකයින් ලෙස ක්‍රියා කරනු ලැබේ.

    1999 දෙසැම්බර් 19 වන දින ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසුව වෑන් රථ තුනකින් කඩු පොලු හා අත්බෝම්බ රැගෙන නිවසට කඩාවැදී දේපලවලට බරපතල හානී සිදුකල බවට ආනන්ද වේරගොඩ විසින් 1999 දෙසැම්බර් (20දා) තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. සිද්ධියෙන් වසර 19ක් මාස හයකට පසුව තඹුත්තේගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු ඉදිරිපත් කළේය.
    සැකකරුවන් විසින් නිවසට හා දේපලවලට අලාභ සිදුකර පසුව පලාගිය බවත් නිවස ආසන්නයේ සැගවී සිය බිරිද කුඩා දරුවන් දෙදෙනා හා ඥාතින් දෙදෙනෙකු ඇතුළු පවුලේ උදවිය දිවි බේරාගත් බව ආනන්ද වේරගොඩ මහතා පොලිසියට පැමිණිලි කර තිබිණ.
    දෙසැම්බර් මස 19 වනදා රාත්‍රියේ තමන්ට හා මිතුරෙකුට ප්‍රහාරයක් එල්ල කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් පැමිණෙන බවට කල්තියා තොරතුරු ලැබී තිබුණ බව ඔහු පැමිණිල්ලේ සදහන් කර තිබේ. සැකකරුවන් කඩු පොළු ගෙනවිත් නිවසට කඩාවැදී නවතා තිබු දොර දෙක බස් රථයකට, තනි දොර බස් රථයකට, ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට හා රජයෙන් ලබාදුන් යතුරු පැදියකට, නිවසේ ගෘහ විදුලි උපකරන සම්පුර්ණයෙන්ම විනාශකර රුපියල් දස ලක්ෂයක පමණ අලාභයක් කර නිවසේ තිබූ රුපියල් 65000ක් පමණ වටිනා දේපල කොල්ලකා නිවස ඉදිරිපස කාමරයට අත්බෝම්බයක් වීසිකර පලාගිය බව පැමිණිල්ලේ සදහන්වේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කල තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශය හා අගතියටපත් සැකකරුවන් සම්බන්ධයෙන් 2000 වසරේ ජනවාරි මස හා මැයි මස අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබෙන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ ඩී.කේ.එන්.කිත්සිරි ද සිල්වා මහතා කියා සිටියේය.

    සිද්ධිය පිළිබඳව නැවත පරික්ෂන සිදුවෙන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පොලිසිය හා නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුවන් සියළුම දෙනා රෝගී තත්වයෙන් පසුවන බැවින් ඔවුන්ට ඇප ලබාදීම සම්බන්ධව සලකා බලන ලෙස විත්තියේ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම කියා සිටියේය.

    අධිකරණය මේ සැකකරුවන්ට ඇප නියම නොකරන්නේ නම් ඔවුන්ට බන්ධනාගාර රෝහල හරහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි නීතිඥවරයා අධිකරණයෙන් අයැද සිටි අතර අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයට හා තලාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට සභා සැසිවාරයන් සදහා සහභාගීවීමට අවස්ථාව ලබාදෙන ලෙස නීතිඥවරයා තවදුරටත් අධිකරණයෙන් අයැද සිටියේය.
    දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලටගත් වැඩබලන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ඔවුන්ට බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙන ලෙසත් සභා සැසිවාරයන්ට බන්ධනාගාර ආරක්ෂාව යටතේ රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි රෝහන ගලප්පත්ති මහතාට නියෝග කෙරිණ.

    මෙම අවස්ථාව ආවරණය කිරිමට ගිය ජනමාධ්‍ය වේදියෙකුගේ කටයුතු වලට බාධාවන අයුරින් සැකකරුවන්ගේ ආධාරකරුවන් පිරිසක් කටයුතු කළේය.

    Last modified on සදුදා, 17 ජූනි 2019 19:10

    Latest News