රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් තහවුරුයි; යුද හමුදාපති (වීඩියෝ)

ජූනි 08, 2019

    රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

    දිවයින පුරා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ඔහු කියා සිටී. යුද හමුදා ගුවන් සංක්‍රමණික බල සේනාවට වසර 25ක් සපිරීම සහ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දස වර්ෂාභිෂේකය නිමිත්තෙන් සංවිධාන කෙරුණු රණකාමීන්ගේ පා ගමනේ සමාප්ති උත්සවයට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

    ඉකුත් 29 වැනිදා මැදවච්චියෙන් ආරම්භ වූ පාගමනේ සමාප්ති උත්සවය අද (08) පැවැත්වුණේ, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී. ඒ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ගුවන් සංක්‍රමණික බල සේනාවට අයත් නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසු නිලයන් 600ක් පාගමනට එක්වූහ.

    මානුෂීය මෙහෙයුම නිමා කිරීම වෙනුවෙන් දිවි පිදූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට උත්තමාචාර පුද කිරීම මෙන්ම, සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවීම පාගමනේ අරමුණයි. 1994 මැයි පළමුවැනිදා ආරම්භ කෙරුණු ගුවන් සංක්‍රමණික බලසේනාව 53 වන සේනාංකය යටතේ මානුෂීය මෙහෙයුමට දායකත්වය ලබා දුන්නේය. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සංක්‍රමණය කරවීමේ හැකියාව හා විශේෂ පුහුණුවක් ලද මෙම බල සේනාව වර්තමානයේ යුද හමුදාපතිවරයාගේ සෘජු නියෝග යටතේ ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:26

    Latest News