සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගෙන් යළිත් අභියාචනා පෙත්සමක්

මැයි 31, 2019

    හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පණවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අනිවාර්ය සිර දඬුවමක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

    බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත පණවා තිබෙන අත්හිටවූ සිර දඬුවම අහෝසි කර එය අනිවාර්ය සිර දඬුවමක් බවටපරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන මස 22 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

    එම පෙත්සම අද(31) සිසිර ද ආබෲ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

    එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම ලබන මස 22 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙසයි.

    සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටින්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී තමන්ට බැණ තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එම අධිකරණය මගින් මාස හයක සිරදඬුවමක් නියම කළ බවයි.

    එම සිර දඬුවම අහෝසි කරන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ හෝමාගම මහාධිකරණය උන්වහන්සේට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් මස හයක සිරදඬුවම අත්හිටවූ සිර දඬුවමක් බවට පරිවර්තනය කළ බව ද එක්නැලිගොඩ මහත්මිය ප්‍රකාශ කරයි.

    හෝමාගම මහාධිකරණය මගින් ඥාණසාර හිමියන්ට අත්හිටවූ සිර දඬුවමක් ලබා දීමේ තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දෙන එක්නැලිගොඩ මහත්මිය එම තීරණය අහෝසි කොට ඥාණසාර හිමියන්ට පැණවූ මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 17:55

    Latest News