චිත්‍රා වාකිස්ට අභාවප්‍රාප්ත වේ

මැයි 31, 2019

    ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) අභාවප්‍රාප්ත වූවාය. කොළඹ පුංචි බොරැල්ල ප්‍රදේශයේ උපත ලැබු ඇය වයස අවුරුදු 12 පටන් ගුවන් විදුලි ළමා වැඩසටහන් සහභාගිවීමට වරම් දිනා ගත්තේය.

    වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය, රූපවාහිනීයට රංගනයෙන් දායකවු ඇය ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම් ප්‍රවීන ශිල්පිනියකි. මිය යන විට 83 වැනි වියේ පසුවු චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය දශක කිහිපයක් මෙරට ශ්‍රාවක සහ ප්‍රේක්ෂක ජනතාව ජනාධරයට පත්ව සිටියේ. සිරිසේන විමලවීර මහතාගේ පොඩි පුතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගැහැණු ළමයි, සිරකරුවා, නාරිලතා, යුගාන්තය, සීතල වතුර, රෑනගිරවි, සුහද පැතුම, මීමැස්සෝ, හිතහොඳ චණ්ඩියා, ගොළු හදවත, පරසතුමල් ඇතුළු චිත්‍රපට 88 කට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කර ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහීනි ටෙලිනාට්‍ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් පසු ඇය මිය යනතුරුම කෝපි කඩේ නාට්‍ය ඇතුළු ටෙලි නාට්‍ය රඟපැමේ නිරත විය. ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ දී ගැහැනු ළමයි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තේය.

    චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිෂ්පාදකවරයකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතා ඇතුළු දරුවන් සිව්දෙනෙකුගේ මවකි. දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන දෙවැනිදා බොරුල්ල කනත්තේදී සිදුකෙරේ.

    අගමැති ශෝක පණිවිඩය

    ගුවන් විදුලියේ ළමා පිටියෙන් ලාංකේය කලා ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රවීණ රංගවේදිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය යන සෑම කලා මාධ්‍යයක්ම ස්වකීය රංගන ප්‍රතිභාවෙන් ජයගන්නට සමත් වූ දක්ෂ රංගන ශිල්පිනියකි.

    රංගනයට මෙන්ම ගායනයට ද එක සේ දස්කම් දැක්වූ, චිත්‍රා වාකිෂ්ඨ ගුවන්විදුලි ළමා පිටිය මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ ද තම දක්ෂතා කළඑළි දක්වන්නට කදිම වේදිකාවක් විය. දික්තල-කාලගෝල නාට්‍යයේ “රතදර සිරියා පරදන” ගීතය මුලින්ම ගුවන්විදුලියේ තැටිගත වී ඇත්තේ ද ඇගේ හඩිනි. චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ ජීවන සහකරු වූ ලොයිඩ් වාකිෂ්ඨ මහතා ඇයට හමුවන්නේ ද ගුවන්විදුලි රඟ මඩලිනි.
    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි චිත්‍රාවන් ගැහැණු ළමයි, පරසතු මල්, කලියුගය, යුගාන්තය වැනි හෙළ සිනමාවේ විශිෂ්ට නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නාය. ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දීමෙන් පසුව නිර්මාණය වූ ප්‍රථම ටෙලි නාට්‍යය වූ දිමුතු මුතු ටෙලි නාට්‍යයට ද ඇය රංගනයෙන් දායක වූවාය.

    අනන්‍ය රංගන ප්‍රතිභාව හේතුවෙන් ඇය ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව, රූපවාහිනිය යන සෑම මාධ්‍යයකම නැතුවම බැරි නිළියක් බවට පත්වූවාය. රූපවාහිනී ඉතිහාසයේ දීර්ඝතම මාලා නාටකය ලෙස සැලකෙන කෝපි කඩේ ටෙලි නාට්‍යයේ, වසර 38ක් අඛණ්ඩව ඇය රඟ දැක්වූ සොමි නෝනා චරිතය ප්‍රේක්‍ෂක මතකයෙන් කිසිදා මැකී නොයන්නකි.

    ප්‍රවීණ රංගනවේදිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය සමස්ත ජීවිත කාලය පුරාම ලාංකේය කලා ක්‍ෂේත්‍රයට ලබාදුන් අනගි දායකත්වය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි. ඇයගේ වියෝවෙන් වේදනාවට පත් දූ දරුවන් ඇතුළු පවුලේ සැම, ඥාති හිත මිත්‍රාදීන් වෙත මාගේත්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේත් සාතිශය සංවේගය පළකරමින් ඇයට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි.

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 18:58

    Latest News