බෝම්බ ප්‍රහාර ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමක්; පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

මැයි 31, 2019

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළකා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

    ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එළ්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    අදාළ පෙත්සම් අද(31) සිසිර ද ආබෲ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙය ජාතික වැදගත්කමක් සහිත නඩු කටයුත්තක් බැවින් එය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා මෙන් නීතිපතිවරයා විසින් අග විනිසුරුවරයා වෙත මෝසමක් මගින් ඉල්ලීමක් කර ඇති බවයි.

    සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක් ශ්‍රී විදානගේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ නීතිපතිවරයා විසින් කරනු ලබන මෙම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවයි.

    සමන් නන්දන සිරිමාන්න මහතාගේ දරුවන් දෙදෙනෙකු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත.

    කෙසේ වෙතත් ජූඩ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා නීතිපතිවරයාගේ ඉල්ලීමට විරෝධය පළ කළ අතර මෙය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතට ගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් බැවින් මෙය අද දින සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කර තිබේ.

    එහෙත් අදාළ පෙත්සම් සියල්ල වැඩිදුර පියවර ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් නැවත ලබන මස 6 වනදා කැඳවන මෙන් නියම කර ඇත.

    මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද පවසා තිබේ.

    එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙති.

    වග උත්තරකාරුවනගේ ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

    වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

    Latest News