ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දැමීමට තීරණයක්

මැයි 31, 2019

    ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයකට එළඹ තිබේ.

    මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමක දී ඊයේ (30) ගත් තීරණයකට අනුව මෙම පොලී අනුපාත පහත දමා ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු මත පොලිය 7.5% දක්වා ද නිත්‍ය ණය පහසුකම් මත පොලිය 8.5% දක්වා ද පහත දමා තිබේ. මැදි කාලීනව උද්ධමනය තනි අගයක මට්ටමේ ස්ථායි ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකය සිය විභව මට්ටමට ලඟාවී සඳහා සහය දීමේ අරමුණ ඇතිව මෙය ක්‍රියාවට නංවා ඇත. තවද වර්තමාන සහ අපේක්ෂිත ආර්ථික වර්ධනය මෙන්ම මුදල් වෙළඳපොල හා ගෝලීය ආර්ථිකය පිළිබඳ මනාව විශ්ලේෂණයක් කිරීමෙන් පසු මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඔ තිබේ.

    වැඩි වී තිබෙන වෙළඳ ආතතිය, දුර්වල වී ඇති ව්‍යාපාර පිළිබඳ විශ්වාසය හා මන්දගාමී වී ඇති බාහිර ඉල්ලුම වැනි සාධක ගණනාවක් හේතුවෙන් ගෝලීය ආර්ථික මන්දගාමීවීමක් දැකිය හැකි බව මහ බැංකුව සඳහන් කරයි. මේ නිසා දියුණු ආර්ථිකයන් වැඩි වශයෙන් දැඩි මුදල් ප්‍රතිපත්තියකින් ඉවත් වීම අනුගමනය කර තිබේ. තවද නැගී එන ඇතැම් වෙළඳපොල ආර්ථිකයන්ද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරනු දැකිය හැකිය.

    ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම සඳහා ගත් ප්‍රතිපත්ති තීරණය මගින් වෙළඳපොල ණය පොලී අනුපාතිකවල වේගවත් සහ විශාල පහළ යෑමක් මහ බැංකුව අපේක්ෂා කරයි.

    මීට පෙර නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාත 8%ක් හා නිතය ණය පහසුකම් පොලී අනුපාත 9%ක් ලෙස පැවතිණි.

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 12:22

    Latest News