ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට පැනවු සංචාරක තහංචි ඉවතට (වීඩියෝ)

මැයි 28, 2019

    ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කිරීමට ස්විට්සර්ලන්තය තීරණය කර තිබේ.

    මෙරට තානාපති හෑන්ස්පීටර් මොක් පවසන්නේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවයි. පාස්කු ඉරිදා ඛේදනීය සිදුවීමත් සමඟ උපරිම තලයට පැමිණ තිබූ මෙරට සංචාරක කර්මාන්තයට හානි පැමිණ තිබේ. සංචාරක කර්මාන්තයට දැනට ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ, විදේශ රටවල් පනවා ඇති ශ්‍රී ලංකා සංචාරක වාරණයයි.

    මෙම වාරණ ඉවත්කර ගැනීම සඳහා ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා, සංචාරක ඇමතිවරයා, කොළඹ සිටින විදේශ රාජතාන්ත්‍රිකයින් සමඟ සාකච්ජා පැවැත්විය. බියෙන් සැකයෙන් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි වාතාවරණයක් පවතින බවට විදෙස් රටවල යහපත් මතයක් මේ වනවිට ගොඩනැගී තිබේ. මෙරට වාතාවරණය සහ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය කළ නිරීක්‍ෂණවලින් අනතුරුව, තහංචි ඊයේ සිට ඉවත් කළ බව, නිවේදනය කර තිබේ.

    කෙසේ වෙතත්, එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු බවයි. චීනය පනවා තිබූ සංචාරක තහනම ද පසුගිය සතියේ ලිහිල් කෙරිණ. සැප්තැම්බර් මාසය වනවිට මෙරට සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වනු ඇතැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විශ්වාසය පළ කරයි.

    එහිදී අදහස් පළ කළ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා....

    “චීන තානාපතිතුමා මුණ ගැහිලා ආරක්‍ෂාව ගැන කතා කරපු බුද්ධි අංශ නිලධාරීන් අරගෙන ගිහිල්ලා රටේ ආරක්‍ෂක තත්වය පිළිබඳව එතුමාට හොඳටම පැහැදිලි කරලා දීලා, එතුමා පිළිඅරගත්තා, ශ්‍රී ලංකාවට පැමිණෙන්න එපැයි කියපු ඒ නිවේදනය දැන් හෑල්ලු කරලා තියෙනවා. එන්න ඕන කෙනෙකුට අවසර දීලා තියෙනවා. දැන් අනෙක් රටවල් කල්පනා කරගෙන යනවා, ඒකෙන් අපිට විශ්වාස කරන්න පුලුවන් මේ මාසේ අන්තිම වෙනකොට ලබන මාසේ වෙනකොට බොහෝ දුරට අනෙක් රටවලුත් දාලා තියෙන තහංචි ලිහිල් කරයි කියලා. එහෙම කෙරුවොත් අපිට කිසිම කරදරයක් නැහැ ලබන සැප්තැම්බර් වෙනකොට තමයි සාමාන්‍යයෙන් සංචාරකයෝ වර්ධනය වීම පවතින කාලේ. විශාල පිරිසක් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් වෙයි“ යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

    Jonee px 900 28 05 19

     

     

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 23:00

    Latest News