පළාත් රැසකට අදත් වැසි

මැයි 25, 2019

    බස්නාහිර,මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව පළාතේත් පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 පමණ වේ.

    පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකියි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 08:00

    Latest News