චමින්ද අතලුවගේ නිසා FCIDයට අධිකරණයට උත්තර බඳින්න වෙයි

මැයි 23, 2019

    චමින්ද අතලුවගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් නඩු දිනයේ නිකුත් කළ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

    ඔහු සැකකරුවෙක් ලෙස නම් කර තිබියදී අත්අඩංගුවට නොගැනීම ගැටලු සහගත බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහු සැකකරුවෙක් නොවන්නේ නම් ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම ඉදිරි නඩු දිනයේ ඉවත් කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    නීතිය සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී වෙනසක් දක්නට ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඇතැම් පුද්ගලයන් චෝදනා සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන බවත්, ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සිදු කර අවසන් කර අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන බවත් පෙන්වා දුන් අතර මෙම ගැටලුකාරී තත්ත්වයන් ඉදිරියේදී ජනතාව ප්‍රශ්න කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් නීතිය සැමට එක විය යුතු බවත් පෙන්වා දුන්නේය.

    ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්ධීය සම්බන්ධ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේය.

    එහි සභාපතිවරයා වශයෙන් සිටියදී ප්‍රචාරක දැන්වීම් පුවරු සවිකිරීමේ මුවාවෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරිම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ හිටපු සභාපති චමින්ද අතලුවගේ මහතා ඇතුලු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් බවට නම් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් සදහා නඩු ගොනූව යොමු කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

    මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීම් පුවරු සවි කළ බව කියන ආයතනයේ ටෙන්ඩර් හිමියා වන රෝෂාන් ප්‍රනාන්දු යන අය සහ ඔහුගේ සහායකනයා වන සමන්ත සමරවීර යන අයද සැකකරුවන් ලෙස නම් කර ඇත.

    සිද්ධියට අදාළව අධිකරණයට කරුණු දැක්වූ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේ දැන්වීම් පුවරු සවි කිරිම සඳහා ප්‍රාදේශීය සභා නගර සභා සහ නාගරික සංවර්ධන අධිකාරියට ඒවා අයත් බල ප්‍රදේශ වලට රුපියල් ලක්ෂයක බදු දීමනාවක් ගෙවන බවට ගිවිසුම් ගෙන එම මුදල ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලබා ගෙන ඇති බවත් එම මුදල් අදාළ ආයතන වලට නොගෙවා ඔවුන් සතු කරගෙන ඇති බවත් සිදු කළ විමර්ශන මගින් අනාවරණය කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.

    දැන්වීම් පුවරු 150ක් සවි කරන බව දැනුම් දුන්නද සිව කර තිබී ඇත්තේ දැන්වීම් පුවරු 135ක් බව සිදු කළ විමර්ශන අනාවරණය කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.

    පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල්, ප්‍රචාරක කටයුතු වලට බව කියමින් දේශපාලන කටයුතු සඳහා වෙනත් පුද්ගලික ආයතන වලට ලබා දීම සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් සිදු කළ බවත් ඒ අනුව මේ පුද්ගලයන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කරන බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධීකරණයට කියා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන සැප්තැම්බර් මස 10 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 08:45

    Latest News