ගෝඨාභයගේ කෞතුකාරගාර නඩුවට එරෙහි පෙත්සම ලබන 30...

මැයි 21, 2019

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    එහිදී අදාළ පෙත්සම ලබන 30 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන බවත් එදින මේ පිළිබඳව කරුණු දක්වන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

    පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    එම නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

    එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද රාජපක්ෂ මහතා කියා සිටියි.

    එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රාජපක්ෂ මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත්කර තිබේ.

    මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් අයැද සිටියා.

    මෙම කරුණටම අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තිබෙන තවත් රිට් පෙත්සමක් ලබන 30 වන දා සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 12:01

    Latest News