ගෝඨාභයගේ කෞතුකාගාර නඩුවට සම්බන්ධ ප්‍රතිශෝධන පෙත්සම ලබන 21

මැයි 17, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිශෝධන පෙත්සමට තීන්දුවක් දෙන තෙක් ඒ මහතාට එරෙහිව ඇති කෞතුකාගාර නඩුව ආරම්භ නොකර සිටීමට පොරොන්දු විය නොහැකි බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙයි.

    කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයකට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වන දා කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කර ඇත.

    අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කර තිබේ.

    මෙම පෙත්සම අද(17) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ මහාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ආරම්භ නොකර සිටීම සම්බන්ධයෙන් තමන්ට මෙම අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දීමට නොහැකි බවයි.

    ඒ අනුව මෙම පෙත්සම සළකා බැලීම ලබන 21 වනදා සිදුකිරීමටයි අභියාචනාධිකරණය තීන්දු කළේ.

    පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    එම නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

    එම මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාල ගොනු විශේෂ මහාධිකරණය වෙත භාර දෙනු ලැබුවද එය භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ බවද රාජපක්ෂ මහතා පවසා ඇත.

    එලෙස තම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රාජපක්ෂ මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත්කර තිබේ.

    මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුව විභාගය කිරීම අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සමෙන් වැඩිදුරටත් අයැද ඇත.

    මෙම කරුණටම අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන තිබෙන තවත් රිට් පෙත්සමක් ලබන 30 වන දා සලකා බැලීම සඳහා කැඳවන බවද අභියාචනාධිකරණය නියම කර තිබේ.

    Latest News