"රටක් සතු වියයුතු වැදගත්ම සාධකය වන්නේ සාමය, සමගිය, සහෝදරත්වය යන ගුණාංගයන්ගෙන් පෝෂණය වූ මානව සම්පතයි. එවන් මානව සම්පතක් බිහිකිරීමේ මූලික අඩිතාලම වන්නේ මිනිසාගේ අධ්‍යාත්මික ස්වභාවය වර්ධනය කිරීම වේ. එවැනි කාර්යයක් කිරීමට හැකි එක් ප්‍රධාන ක්‍රමයක් වන්නේ මිනිසා ආගම දහම කෙරෙහි යොමු කිරීමයි. මෙකී කර්තව්‍යය වෙනුවෙන් බුදුදහම තුළින් සිදුවන්නේ අනුපමේය වූ මෙහෙයකි. ධනාත්මක මානව සම්පතක් බිහිකිරීමට හැකි උතුම් ධර්මයක නිර්මාතෘවරයාණන්ගේ තෙමගුල සමරණ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වර්ධනය වන්නාවූ අති උතුම්වූ වෙසක් පුන් පොහොය සැමරීමට හැකිවීම අප ලද භාග්‍යයකි.
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිහිකරන වෙසක් පොහොය බෞද්ධ ජනතාව සමරන්නේ හදපිරි භක්තියෙනි. ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන් වෙනුවෙන් බෞද්ධ ජනතාව කටයුතු කරනුයේ විශාල කැපවීමකිනි. වර්තමාන ජන සමාජයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ, බෞද්ධ ජනතාවට වෙසක් පොහොය දින ආමිස සහ ප්‍රතිපත්ති පුදපූජා පැවැත්වීමටද අවහිරතා මතුවී ඇත්තේ මහත් අභාග්‍යසම්පන්න ආකාරයෙනි. මිනිසා ආගම දහමෙන් බැහැරවීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම ගැටුම්කාරී තත්ත්වයන් හදුන්වාදිය හැක.
බුද්ධ වර්ෂ 2563 කට පෙර ඉතිහාසය වෙත අප නැවතත් ආපස්සට යායුතු නැත. ආගමක් දහමක් නොදන්නා, නොඅදහනා, මනුෂ්‍යභාවයන් පිළිනොගන්නා වනචාරී යුගයක් පසුකර, නිර්මල බුදු දහමේ පහස ලබා, යහපත්වූ මනුෂ්‍යභාවයන්ගෙන් අධ්‍යාත්මය පෝෂණය කරගනිමින් සමාජගතවූ අප, එවන් අති උතුම් වූ දහමක් තුළින්ම අනාගතයට එළඹිය යුතුවේ.
ධනය, බලය පසුපස හඹා යමින්, නිරන්තර තරගකාරී මානසිකත්වයෙන් පීඩිතව සිටින ජනතාවගේ එම මානසික තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් අද ලෝකය මුහුණපා ඇති ජාතිවාදි, ආගම් වාදී මෙන්ම ත්‍රස්තවාදි අරගලයන් හදුන්වාදිය හැක. ජනතාවගේ මෙම පීඩාකාරී, උද්වේගකර මානසිකත්වය මදකට වෙනස් කරමින්, බුදු දහමේ සිසිලසින්, කරුණාව දයාව මිනිස් හදවත් තුළ ජනිත කළ හැකිනම්, නූතන ලෝකය මෙවන් වූ පීඩාකාරී තැනක් නොවනු ඇත.
සුවහසක් වූ බෞද්ධ ජනතාවගේ සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් සනහාලමින් උදාවන වෙසක් මංගල්‍යය, ජනතාවගේ සිත්තුළ කරුණාව, දයාව, සහෝදරත්වය මෙන්ම සමානාත්මතාවය වර්ධනය කර, ශ්‍රී ලංකාවාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාවට බියෙන් සැකයෙන් තොර සාමකාමී ජන ජීවිතයක් ගතකිරීමට හැකි වාතාවරණයක් ඇතිකිරීමේ මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනය කරමි."
යැයි එම පණිවුඩයේ සඳහන් වේ.