සාමය රැකීමට විශේෂ වැඩපිළිවෙළක්....ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් (වීඩියෝ)

මැයි 14, 2019

    පළාත් සභා විසුරුවා තිබුණ ද හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සියලු පළාත් සභා නැවත කැඳවා තම පළාත්වල ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ නිරන්තරයෙන් සමාලෝචනය කරන ලෙස ජනාධිපතිතුමා සියලු ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී තිබේ.

    මේ අතර දිස්ත්‍රික් සහ ප‍්‍රාදේශීය මට්ටමින් නියමිත පරිදි ආරක්ෂක කමිටු රැස්කර තම ප‍්‍රදේශවල ආරක්ෂාවත්, සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙනුත් ආරක්ෂක අංශ සමඟ එක්ව අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹෙන ලෙස ජනාධිපතිතුමා සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන්නේ ය.
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 12 වන දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ආරක්ෂක කමිටු රැස්වීම අමතමිනි.
    රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහි දී පැහැදිලි කළේය. පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ දේශපාලන අධිකාරිය මෙන්ම ආගමික නායකයන් ද ඊට එක්කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. එමෙන්ම රටේ සියලූ ජනකොටස් අතර තිබිය යුතු සාමය සහ සහජීවනය තහවුරු කිරීම වෙනුවෙන් කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.


    ප‍්‍රාදේශීය වශයෙන් මතුවන ගැටුම්කාරි තත්ත්වය වළක්වා ගැනීමට මෙම ආරක්ෂක කමිටු රැස්වීම්වල දී ගනු ලබන තින්දු තීරණ සහ ආරක්ෂක විධිවිධාන ඉතා වැදගත් බව පෙන්වා දෙන ජනාධිපතුමා, එමෙන්ම ආරක්ෂාව ලබාදිය යුතු ස්ථාන සහ ආරක්ෂක නිලධාරින් වඩා විමසිල්ලෙන් සිටිය යුතු ස්ථාන පිළිබඳ අවබෝධයක් ඇත්තේ එම සමාජයේම කටයුතු කරන පිරිසට බැවින් මෙම ආරක්ෂක කමිටු නියමිත පරිදි රැස්වී අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:40

    Latest News