“නව ත්‍රස්තවාදය හා අන්තවාදය“ යෝජනා මාලාව එළි දකී (වීඩියෝ)

මැයි 14, 2019

    ජන කොටස් සහ ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් “නව ත්‍රස්තවාදය හා අන්තවාදය“ මුලිනුපුටා දැමීමට අදාළ යෝජනා මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අද එළිදක්වනු ලැබුවා.

    ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සම්බන්ධ නීති-රීති ශක්තිමත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කරවීම මෙහි අරමුණයි. යෝජනා මාලාව ජාතික ආරක්‍ෂාව පිලිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව වෙත යොමු කර තිබේ.

    කරුණු 11කින් සමන්විත යෝජනා මාලාව එළිදක්වනු ලැබුවේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකදී. අන්තවාදය සහ ඊට බලපෑ සාධක පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීති-රීති නොමැති බැවින්, අවශ්‍ය නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බව, මෙහිදී ප්‍රකාශ කෙරිණ. ඒ අනුව සකස් කර ඇති කරුණු 11කින් යුත් යෝජනා මාලාව මෙසේයි.

    01. ජාතීන්, ආගම් හා ජන කණ්ඩායම් අතර වෛරය, ප්‍රචණ්ඩත්වය හා එකිනෙකා අතර සැකය පැතිරවීම සාපරාධි වරදක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති          සම්පාදනය.
    02. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම හා ඒ සඳහා ජාති, ආගම් ලෙස බෙදී ඇති අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට            අදාළ නීති සම්පාදනය.
    03. මෙරට දරුවන්ගේ උසස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සළකා කටයුතු කිරීම, ඒ යටතේ, විදෙස්ගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකීය දරුවන්ද මෙරට                    සංස්කෘතික හා සාමාජීය රටාවන්ට අනුගත කිරීමට අදාළ අවබෝධයක් ඇති කිරීමේ නීති සැකසීම.
    04. ජාතික, ආගමික, සංස්කෘතික දේශන හා අධ්‍යයන පර්යේෂණ වැඩමුළු පැවැත්වීමට පැමිණෙන්නන් රටට ඇතුළුවීමට පෙර විශේෂ පරීක්‍ෂණයකට ලක් කිරීම              සම්බන්ධ නීති සම්පාදනය.
    05. ජාතික ආරක්‍ෂාවට හා සාමකාමී පැවැත්මට හානිකර වූ ඇඳුම් සහ වෙනත් චර්යාවන්, ෆුල්ෆේස් හෙල්මට් සහ බුර්කා වැනි ඇඳුම්, පැළඳීම වැළැක්වීමට අදාළ              නීති-රීති සම්පාදනය.
    06. ජාති, ආගම්, කුල ප්‍රදේශ පදනමින් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමේ නීති සැකසීම.
    07. ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන සඳහා පොදු නීතියක් ඇති කිරීම.
    08. ජාති හා ආගම් අනුව අමාත්‍යාංශ ඇති කිරීම වෙනුවට එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම.
    09. ජාතික, ආගමික සහජීවනය මෙන්ම, රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් ආගමන-විගමන නීති සම්පාදනය.
    10. විදේශ රටවලින්, සංවිධානවලින් හා පුද්ගලයන්ගෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ කවර අරමුණු වෙනුවෙන් ද යන්න නිසි අධීක්‍ෂණයකට හා පාලනයකට            නතු කිරීම පිළිබඳ නීති සම්පාදනය.
    11. අන්තර්ජාල තොරතුරු හා සමාජ මාධ්‍ය මගින් සිදුකරන අනිසි පෙළඹවීම් හා සාපරාධී අරමුණු වෙනුවෙන් වූ තොරතුරු පාලනය කිරීමට අදාළ නීති සම්පාදනය

    එම යෝජනා මාලාවට ඇතුළත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, එක් රටක් තුළ පොදු නීති පද්ධතියක් ගොඩනැගීම මෙහි අරමුණ බවයි.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:29

    Latest News