අභියෝග හමුවේ මත්ද්‍රව්‍ය මර්දනය දුර්වල කරන්නේ නෑ- ජනපති

මැයි 03, 2019

    ත‍්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

     ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අවි ජාවාරම, පතාලය එකම ජාලයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ රටට එරෙහි මෙම සියලූ අභියෝග පරාජය කළ යුතු බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය. 

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත‍්‍රස්ත ක්‍රියාවට මුහුණදීමට සිදුවූයේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින අවස්ථාවක බවයි.

    අප්‍රේල් 21 වනදා ඛේදවාචකය නොවන්නට මත්ද්‍රව්‍ය විරෝධි වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක ප‍්‍රතිඵල රැසක් පෙන්වා අවසන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුාවට ලක් වූ අතර විධිමත් සහ ප‍්‍රායෝගික සැලැසුම් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බාලවයස්කාර තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතළ අපරාධකරුවන් සමඟ එකට රඳදවා තැබීම සිදු නොකළ යුතු බවයි.

    එසේ සිටීමෙන් ඔවුන් ද බරපතළ අපරාධ සඳහා පෙලඹිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම තරුණයන් වෙනම පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කමත්, එහි දී ඔවුන්ගේ වයස් මට්ටම්, වරදේ ස්වභාවය, පුනරුථාපනය කෙරෙන කලවකවානු ආදි කරුණු සැලකිල්ලට ගැනීමේ වැදගත්කමත් පැහැදිළි කළේය.

    පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ ද, ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ආරක්ෂක අංශ ප‍්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News