ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා අඩාල වූ ජන ජිවිතය, යථා තත්වයට

අප්‍රේ 30, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව හේතුවෙන් අඩාල වූ ජන ජිවිතය, මේ වනවිට යථා තත්වයට පත්වෙමින් පවතී.

    ආරක්‍ෂක අංශ දිවයිනේ සියලු ප්‍රදේශවල ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර කොළඹ නගරයේ දෛනික කටයුතු අද යථා තත්වයට පත්වී තිබෙනු දැක ගත හැකි විය.

    ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කිරීමත් සමඟ දෛනික අවශ්‍යතාවන් සඳහා විශාල පිරිසක් සුපුරුදු පරිදි කොළඹට පැමිණෙමින් සිටී. මගීන්ගේ පහසුව පිණිස ලංගම බස් රථ පන් දහසකට වැඩි සංඛ්‍යාවක් ධාවනයට යොදා ඇති බව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රෝහණ චන්ද්‍රසිරි මහතා කියා සිටියේ සාමාන්‍ය දුර ගමන් සේවා සහ කෙටි ගමන් සේවා සියල්ල අදාළ කාල සටහන් අනුව ක්‍රියාත්මක බවයි. පෞද්ගලික බස් රථ ධාවනය ද 90% කින් පමණ සිදුවන බව, පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.


    මේ වනවිට කාර්යාලීය දුම්රිය සියල්ල ද සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ටී.එල්. වික්‍රමරත්න මහතා පැවසුවේ දැනට ධාවනය නොකෙරෙන්නේ රාත්‍රී තැපැල් දුම්රිය 3ක් පමණක් බවයි. ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස දුම්රිය හා බස් රථවලට පාර්සල් රැගෙන යාම තවදුරටත් සීමා කර තිබේ. මේ අනුව, කොළඹ නගරයේ කාර්යාලයීය සේවා සහ සෙසු දෛනික කටයුතු යථා තත්වයෙන් ක්‍රියාත්මක වනු දැකිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 20:20

    Latest News