ජනපති මෛත්‍රීගෙන් ලෝකයට ආදර්ශයක්.....ත්‍රස්තවාදය මැඩලීමට ඒක්සත් ජාතින්ගේ සහය

අප්‍රේ 30, 2019

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසු ත‍්‍රස්තවාදයට එරෙහිව ක්ෂණික පියවර ගනිමින් හා සාර්ථක මෙහෙයුම් දියත් කරමින් ත‍්‍රස්තවාදය පාලනය කිරීමට නායකත්වය ලබාදීම මගින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝකයට අගනා ආදර්ශයක් සපයා ඇති බව ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් Miguel Angle Moratinos මහතා පවසයි. 

    දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා අද (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වු අතර ජනාධිපතිතුමා ගෙන යන ත‍්‍රස්ත විරෝධි වැඩපිළිවෙළ වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත සිය ප‍්‍රසාදය පළ කිරීමට ද ඒ මහතා කටයුතු කළේය. 

    ස්පාඤ්ඤයේ හිටපු විදේශ අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ද වන ඒ මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරට සංචාරයක නිරත වෙයි. ඔහු ජනාධිපතිතුමා හමුවේ වැඩිදුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකා ජනපතිගේ ත‍්‍රස්ත විරෝධී වැඩපිළිවෙළට අද මුළු ලෝකයේම සහාය පළ වී ඇති බවයි. එම වැඩපිළිවෙළට සහය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ත‍්‍රස්ත විරෝධී විශේෂඥ නියෝජිත පිරිසක් නුදුරේදී ම මෙරටට එවීමට මහලේකම්වරයා තීරණය කර ඇතැයි ද ඒ මහතා පැවසීය. 

    සිය රට වන ස්පාඤ්ඤයට 2014 දී එල්ල වූ අල්කයිඩා ප‍්‍රහාරය පිළිබඳව ද සිහිපත් කළ නියෝජ්‍ය මහලේකම්වරයා ස්පාඤ්ඤය මෙන්ම ශ‍්‍රී ලංකාව ද මිත‍්‍ර ජන සමූහයක් ඇති සත්කාරක රටවල් බවත් එවැනි රටවල් ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ලක්වීම ඛේදජනක තත්ත්වයක් බවත් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ශිෂ්ටාචාරය සඳහා වූ සන්ධානය මෙම දිනවල දී ආගමික වන්දනීය ස්ථානවල ආරක්ෂාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්පාදනය කරමින් සිටින බව පැවසූ නියෝජ්‍ය මහලේකම්වරයා ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේය.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා වෙතත්, නියෝජ්‍ය මහලේකම්වරය වෙතත් සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා මෙම දුෂ්කර අවස්ථාවේ දී එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හිමි වූ සහය ශ‍්‍රී ලංකාවට මහඟු ශක්තියක් බව ද ප‍්‍රකාශ කළේය. ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ ත‍්‍රස්ත අභියෝගය සාර්ථකව ජය ගැනීමට ශ‍්‍රී ලාංකීය ආරක්ෂක අංශවලට ශක්තිය තිබෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එහිදී ලැබෙන විදේශීය විශේෂඥ සහය ද වැදගත් බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙම ත‍්‍රස්ත මර්දන වැඩපිළිවෙළ සඳහා විදේශීය හමුදාවන් මෙරටට ගෙන්වීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 01 මැයි 2019 11:42

    Latest News