විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අද නිරවරණය කෙරිණ

අප්‍රේ 30, 2019

    අලූතෑපොල පුරාණ ගනේකන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු විශාලතම දැවමය සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අද නිරාවරණය කෙරුණු අතර, ඒ නිමිත්තෙන් අද (30) පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

    මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා, විරෝධාර රණවිරුවන් ප‍්‍රමුඛ සමස්ත රටවැසි ජනතාව වෙත ආශිර්වාද පළ කිරීම මෙහි දී සිදු විය. එමෙන්ම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සියලූ දෙනා සිහිපත් කරමින් පිං පැමිණවීම ද සිදු කෙරුණු අතර, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් ආශිර්වාද පළ කිරීම සිදු කෙරිණි. විහාරාධිපති කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ මාහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

    දැවමය සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කළ නිර්මාණ ශිල්පියා වන මීපුරේ ජයන්ත සමන් කුමාර මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
    ගනේවත්ත පුරාණ බෝධිමළු විහාරාධිපති ලේඛකාධිකාරී පූජ්‍ය වරාගල විමලබුද්ධි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ ජනතා නියෝජිතයන් ඇතුළු සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 23:27

    Latest News