ගල්නෑවේ දී අත්බෝම්බයක් ආරක්ෂිතව ඉවත් කෙරේ

අප්‍රේ 30, 2019

    ගල්නෑව ශ්‍රී නාමල් විහාරස්ථානය ඉදිරිපිට තිබී ජීව අත්බෝම්බයක් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට සමත්වේ.

    ගල්නෑව පොලිස් වසමේ කළංකුට්ටිය නාමල්ගමුව, ශ්‍රී නාමල් විහාරස්ථානය ඉදිරිපිට තිබී ජීව අත්බෝම්බයක් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට නාවික හමුදාවේ මහව පිහිටි බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසලේ නිලධාරීන් අද (30) පස්වරුවේ කටයුතු කරනු ලැබීය.

    කළංකුට්ටිය, නාමල්ගමුව ශ්‍රී නාමල් විහාරස්ථානය ඉදිරිපිට ඉදි කර ඇති ප්‍රථිආශිත ජල පෙරණ පද්ධතිය අසල ජීව අත්බෝම්බයක් ඇති බවට අද(30) උදෑසන ලැබුණ තොරතුරකට අනුව ගල්නෑව පොලිස් ස්ථාන නිලධාරීන් හා කළංකුට්ටිය යුද්ධ හමුදා කඳවුරු නිලධාරීන් අදාළ ස්ථානයට ආරක්ෂාව ලබා දීමට කටයුතු කළහ.

    ජීව අත්බෝම්බය තිබූ ස්ථානයට ඉදිරියෙන් කළංකුට්ටිය නාමල්ගමුව, ශ්‍රී නාමල් විහාරස්ථානයත්, යාබදව කළංකුට්ටිය මාවත්තේගම විද්‍යාලය ද පිහිටා ඇත.


    අදාළස්ථානයේ තිබූ ජීව අත්බෝම්බය ඉතා පැරණි අත්බෝම්බයක් බවත්, මේ දිනවල ආරක්ෂක අංශ හදිසි සෝදිසි මෙහෙයුම් සිදු කරන නිසාවෙන්, මෙම බෝම්බය සන්තකයේ තිබූ කිසියම් පුද්ගලයකු මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි සැක කරන බවත් ගල්නෑව පොලීසිය පැවසීය.


    පස්වරු 03.30 ට පමණ එම ස්ථානයට මහව, නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසලේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාළ ජීව අත්බෝම්බය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

    Latest News