ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව සියලු දෙනාට විවෘත කරනවා - ජනපති (වීඩියෝ)

අප්‍රේ 30, 2019

    ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනපති පවසයි.

    ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් ජනාධිපතිතුමා විසින් පසුගිය දා පත් කරනු ලැබිණි. එම මණ්ඩලයට ඉහළ ම අධිකරණ බලයක් ඇති ව පත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එහි වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ සති දෙකක කාලයකින් බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.


    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අද (30) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති හමුවේ දී ය.

    ත‍්‍රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප‍්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ජනාධිපතිතුමා අවධාරණය කළේ මෙම ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයට මුහුණදීමෙන් අනතුරුව ලොව කිසිදු රටක සිදු නොවූ අන්දමින් ත‍්‍රස්තවාදයට එරෙහිව පියවර ගනිමින්, තොරතුරු අනාවරණය කර ගැනීමට සහ අත්අංඩගුවට ගැනීම් සිදු කිරීමට මෙරට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සමත් වූ අතර, ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඊට දායක වූ සියලූදෙනාට තම ස්තූතිය පළ කරන බව ද කියා සිටියේය.

    පාසල්වල් ආරක්ෂාවට ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම රජයේ කාර්යාලවල කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ කිසිදු කාර්යයක් අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා සියලූ කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවයි.
    නව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු වූ හා සාමකාමී රටක් ගොඩනැඟීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සිය උපරිම ශක්තිය ලබාදෙන බවයි.
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංකෝන් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 22:47

    Latest News