ත්‍රස්තවාදින්ගේ අරමුණ රට අකර්මන්‍ය කිරිම..... ඉඩ තබන්න එපා.....ඇමති වජිර

අප්‍රේ 29, 2019

    රට අකර්මන්‍ය කිරීම ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ බැවින් එයට ඉඩ නොතබා රාජකාරී ඉටුකළ යුතු යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    හදිසි නීතිය යටතේ දිස්ත්‍රික්කයන්හි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ සියලු දිසාපතිවරුන් දැනුවත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීම සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍යය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා, අමාත්‍යාංශ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිසාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

    වජිර අබේවර්ධන මහතා ''හදිසි නීතිය ක්‍රියාත්මකවීමත් සමගම දිස්ත්‍රික්කයේ ආරක්ෂාව සම්බන්ධයේන දිසාපතිවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඒ අනුව දිසාපතිවරුන් ක්‍රියාත්මක විය යුතුයි. කාර්යාලයේ සහ නිලධාරීන්ගේ ආරක්ෂව පමණක් නොවෙයි සමස්ථ දිස්ත්‍රික්කයේ ම ආරක්ෂාව ගැන වගකීමක් ඔබට තිබෙනවා. දිස්ත්‍රික්කයේ ආරක්ෂක කමිටු මගින් අවශ්‍ය ප්‍රදේශවලට නිසි ආරක්ෂාව ලබාදීම ගැන සොයා බලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදීන්ගේ මූළික අරමුණක් වෙන්නේ රට අකර්මන්‍ය කිරීම. අවුරුදු 30ක වර්ගවාදී යුද්ධයක් තිබුණු කාලයේ තැන තැන බෝම්බ පිපිරී ගියත් රටේ රාජ්‍ය නිලධාරීන් පුද්ගලික අංශයේ සේවකයන් වැඩට ආවා. තමන්ගේ රාජකාරී සිදුකළා. නමුත් පසුගිය සතියක කාලයක් අපි සිදුවුණේ බොහෝ දෙනකු රාජකාරියට වාර්තා නොකරන තත්ත්වයක්. අපි ත්‍රස්තවාදීන්ගේ අරමුණට ඉට නොදිය යුතුයි. සෑම කාර්යාලයකම කටයුතු නිසි පරිදි කලට වේලාවට සිදුවෙන්න අවශ්‍යයි. අද සමාජ මාධ්‍යවල විවිධ අදහස් පලකරන වැඩි දෙනෙක් තිස් අවුරුදු යුද්ධය ගැන නිසි අත්දැකීම් තිබෙන අය නොවෙයි. අවුරුදු 10ක කාලයක දී බොහෝ අයට යුද්ධය අමතක වෙලා. යුද්ධයක් තිබිය දී මේ රටේ සාමාන්‍ය වැඩ කෙරුණා. ඒ වගේ කාර්යාලයට එන්නේ සුළු පිරිසක් නම් ඒ අය සමග සාමාන්‍ය එදිනෙදා කටයුතු කරගෙන යන්න."

    මෙම රැස්වීම සඳහා පැමිණ සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා ද ආරක්ෂාව සම්බන්ධයෙන් දිසාපතිවරු ඇතුළු නිලධාරීන් දැනුම්වත් කළේය.

    මෙම රැස්වීමේ දී ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරු විමසීම් කළ අතර ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

    Latest News