නීතිපති ජයන්ත ජයසූරීය අගවිනිසුරු ධූරයට (වීඩියෝ)

අප්‍රේ 29, 2019

    නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

     නීතිපති ජයන්ත ජයසූරිය මහතා වසර 33ක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත.

    ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1982 දී නීතිඥවරයෙකු ලෙස සමත්වී ජනාධිපති නීතිඥ දයා පෙරේරා සහ නීතිඥවරුන් වන ආරිය බී රැකව, සී.විග්නරාජා යන මහත්වරුන් යටතේ කනිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස සේවය කර ඇත. 1983 දී නීතිඥවරයෙකු ලෙස නිතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. ජයසූරිය මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යයත්වයක් මත නීතිය හා මානව හිමිකම් පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධිය ලබා ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ අධිකරණ දෙකක පැමිණිලි මෙහෙයවන නීතිඥවරයා ලෙස වසර 04 ක කාලයක්, සේවය කළ ජයසූරිය මහතා රෝයල් පාර්ක් තරුණිය ඝාතන නඩුව, අගුලාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව වූ නඩුව, සදීප ලක්ෂාන් සිසුවා ඝාතනය කිරීමේ නඩුව වැනි සුවිශේෂී නඩු කිහිපයකම පැමිණිල්ල මෙහෙයවා ඇත.

    සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර ඇත. 

    අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබීය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ. අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් පිරිනැමිණ.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 19:50

    Latest News