වව්නතිව් පොලිස් ඝාතන අවි සොයා ගනී....සැකකරුවන් සියල්ල පවසයි

අප්‍රේ 28, 2019

    වව්නතිව්හි දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ද මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    මාවනැල්ලේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට ද ඔවුන් සම්බන්ධ බවයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ.
    මේ පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා....

    “අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගණනාවක් මේ වනවිට ප්‍රශ්න කිරීම්වලට හා විමර්ශන කිරීම්වලට ලක් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටිනවා. ඒ අතර 2018 නොවැම්බර් 30 වැනි දින වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයේ රාජකාරියක යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා කපා කොට ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. එම වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වුණා.

    ඒ වගේම ඒ සැකකරුවන් තිදෙනා මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින සැකකරුවන් අතර සිටින බවටත් අනාවරණය වුණා. ඒ සැකකරුවන් තිදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරද්දි මේ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරුණු ගණනාවක් අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මේ පොලිස් නිලධාරීන් දෙදෙනාව ඝාතනය කිරීමෙන් අනතුරව ඔවුන් දෙදෙනාගේ රාජකාරී රිවෝල්වර අවි දෙක මේ සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබුණා. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම රිවෝල්වර අවි දෙක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකිවුණා. ඊට අමතරව පසුගිය මාර්තු 09 වැනි දින මාවනැල්ල ප්‍රදේශයේ දී නිවසක් තුළ නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මිනීමැරිමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා.

    එම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ මෙම සැකකරුවන් තිදෙනා විසින් බවටත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සඳහා යොදාගත් රිවෝල්වර අවි භාවිතා කර ඇති බවටත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට. සැකකරුවන් වැඩිදුරටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබා ගෙන විමර්ශන සිදුකරනු ලබනවා.“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 14:59

    Latest News