අන්තවාදි පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නැහැ..... ඇමති අකිල

අප්‍රේ 28, 2019

    ඉස්ලාමීය අන්තවාදී අදහස් සමාජගත කිරීමේ චෝදනා එල්ලවී ඇති අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනයක් නොකරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බව, ඇතැම් කණ්ඩායම් පසුගිය දිනවල ප්‍රචාරය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්. එම සියලු ප්‍රකාශයන් පදනම් විරහිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    ජාතික පාසල්, පළාත් පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, උපකෘත විශේෂ පාසල් හෝ පිරිවෙනකට අයත්වන කිසිදු ස්ථානයක අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් ක්‍රියාත්මක නොවන බව එහි වැඩි දුරටත් සඳහන් වේ. එවැනි ස්ථාන නියාමනය කිරිමේ අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නොමැති බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

     

    විශේෂ මාධ්‍ය නිවේදනය                                                                   2019-04-28
     
    අන්තවාදය ව්‍යාප්ත කිරීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන අරාබි පාසල් සහ මද්‍රසා පාසල් පිළිබඳවයි..
     
    ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන බවට චෝදනා එල්ල වී ඇති  අරාබි පාසල් හෝ මද්‍රසා පාසල්  කිසිවක් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමක් හෝ නියාමනය වීමක් සිදුනොවන බව අවධාරණය කරමු.
     
    පසුගිය දිනවල ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් ඒවායේ සිදුවන අන්තවාදී ඉගැන්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බවත් සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරය නිරීක්ෂණය විය.
     
    මෙම සියලු ප්‍රකාශයන් පදනම් විරහිත අතර අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී ඇති බලතල අනුව ඒ යටතේ ක්‍රියාත්මක ජාතික පාසල්, පළාත් පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල්, උපකෘත විශේෂ පාසල් හෝ පිරිවෙනකට අයත් වන කිසිදු ස්ථානයක මෙම අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් ක්‍රියාත්මක නොවන බව නිළධාරීන් විසින් තවදුරටත් තහවුරු කර ඇති බවත් මින් අවධාරණය කරන අතර එවැනි ස්ථාන නියාමනය කිරීමේ බලයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බව මින් දැනුම් දෙමු.
     
     
    මාධ්‍ය ඒකකය 
    අධ්‍යාපන අමාත්‍යංශය 

     

     

    Last modified on ඉරිදා, 28 අප්‍රේල් 2019 15:58

    Latest News