එ.ජා. මහලේකම් ඇතුළු ලෝක නායකයන්ගෙන් ශ‍්‍රී ලංකාවට සහය

අප්‍රේ 25, 2019

    මෙම අසීරු අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ලෝක නායකයෝ විශේෂ දුරකථන පණිවිඩ ලබාදෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහතික වෙති.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබාදෙමින්, පාස්කු ඉරිදා බිහිසුණු ප‍්‍රහාරය පිළිබඳ තම බලවත් කණගාටුව සහ සංවේගය පළ කළේය.
    මෙම අසීරු අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට ජනපතිට සහතික වූ ජගත් මහලේකම්වරයා මෙම ඛේදජනක සිදුවීමෙන් මියගිය සියලූදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සංවේගය පළ කරන බවත්, තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවත් සඳහන් කළේය.

    මේ අතර පකිස්ථාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) සහ තුර්කි ජනාධිපති රිචේප් තයිප් එර්දොගාන් (Recep Tayyip Erdogan) යන මහත්වරුන් ද ඊයේ ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් සිය කනගාටුව සහ සංවේගය පළ කළ අතර, ඔවුන් අවධාරණය කළේ ත‍්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි.
    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ කටාර් එමීර්වරයා වන ෂේක් තමිම් බින් අහමඞ් අල්තානි (Sheikh Tamim bin Hamad Al Thani) මහතා ද ජනාධිපතිතුමා වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් සිය කනගාටුව සහ සංවේගය පළ කළ අතර මෙම දුෂ්කර අවස්ථාවේ තමන් ශ‍්‍රී ලංකාව සමඳ අත්වැල් බැඳගෙන සිටින බව අවධාරණය කළහ.

    Latest News