තිස්ස කූට ලේඛන නඩුවෙන් ‌‌ නිදහස් කරයි

අප්‍රේ 24, 2019

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව  අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවේ විත්තිකරු තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම ක‌ෙළේය.

    මෙම නඩුව  කැඳවූ අවස්ථාවේදී  විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වී තිබෙන ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට  යම් අපහසුවක් හෝ පාඩුවක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සමාව අයද සිටින බවත් මින් මතුවට විත්තිකරු මේ ආකාරයේ ලේඛන ඉදිරිපත් කිරීමක් නොකරන බවටත් ප්‍රකාශ කර සිටියා.

    එම දැනුම් දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විරෝධය පළ කළේ නැහැ.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ වගකිවයුතු පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට පෙර එහි බරපතළ භාවය පිළිබඳ තේරුම්ගෙන ඒවා සිදු කිරීම වැදගත් වන බවයි.

     කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන්  විත්ති සහ පැමිණිලි පාර්ශවය අතර යම් සංහිඳියාවක් ගොඩනැගී ඇති බවත් විත්තිකරු මෙම වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් සිදුවන බව පෙනී යන හෙයින් මෙම නඩුව අධිකරණයේ අභිමතය පරිදි අවසන් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා  අධිකරණයට දන්වා සිටියා.

    ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු විභාගය අවසන් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකාර තිස්ස අත්තනායක මහතා නිදහස් කිරීමට නියම කළා

     පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට සඳහන් කූඨ ලේඛනයක් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රදර්ශනය කිරීම තුලින් ජාතීන් අතර පවතින සුහදතාවය කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළීබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

    මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක්ද දෙවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම මහත්මියද පෙනී සිටියහ.

    මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කර තිබූ අතර ඔවුන්ට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා .හතර වතාවක්ම සිතාසි නිකුත් කර තිබුණත් ඔවුන් රාජකාරිමය හේතූන් මත අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.




    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 12:12

    Latest News