ත්‍රස්තවාදින් මර්ධනයට යෝජනා......ප්‍රහාර‍යට සම්බන්ධ සංවිධානත් හඳුනා ගනී..... ඇමති රුවන්

අප්‍රේ 23, 2019

    පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාර ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් විසින් නවසීලන්ත ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස එල්ල කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවත්,එම ප්‍රහාරය සිදු කරන ලද අන්තවාදී කණ්ඩායම් තවුෆීක් ජමාද් නැමති සංවිධානය ද තවත් සංවිධානයක් සමඟ සමීප සම්බන්ධතා ඇති බවට හෙළි වී ඇති බවයි අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ.

    මෙවැනි ඉස්ලාම් අන්තවාදී සංවිධාන වහාම තහනම් කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද සඳහන් කළ අමාත්‍යවරයා එහි සමාජිකයින් නීතියේ හමුවට ගෙන ආ යුතු බව ද පැවසීය. ලංකාව තුළ ක්‍රියාත්මක සියලු අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඔවුන්ට අයත් නිශ්චල හා චංචල දේපල රාජසන්තක කළ යුතු බවත් පැවසුවේය.

    එසේ සිදු කිරීමෙන් පමණක් ජාතික ආරක්ෂාව රැක ගත හැකි බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ , මෙවැනි අන්තවාදී කණ්ඩායම්වල බියගුළු ක්‍රියාවන් හේතුවෙන් රටේ සාමකාමී මුස්ලිම් ප්‍රජාව දෙස සැකෙන් බැලීම සිදු නොකළ යුතුයි යන්නයි.

    මෙම ප්‍රහාරයට අදාළව බොහෝ මුස්ලිම් පාර්ශව දැනට සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත් ඔවුන් විසින් මෙම අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අංශ දිරිමත් කරමින් සිටින බව පෙන්වා දුනී. රටවාසී සියලු දෙනාගෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට දායක වන ලෙස ද රුවන් විජේවර්ධන මහතා ඉල්ලීමක් කළේය.

     

     

     

    Latest News