මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලයට මුදල් ආ අන්දම සෙවීමට පරික්ෂණයක්..... ඇමති රුවන්

මැයි 09, 2019

    මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. 

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න නියෝග කොට තිබෙනවා. මේ පිටුපස තියෙන කතාව සම්බන්ධව සොයා බලන්න වෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳයි කියා සිතනවා.

    මෙහිදී දී නැඟී සිටි උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් මහත මෙසේ සඳහන් කළේ ය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයකට අනුමැතිය ලබාදීමට පෙර දීර්ඝ ක්‍රමවේදයක් තිබෙනවා. මේ ක්‍රමවේදනය ගැන තාමත් තීරණයක් අරන් නෑ. මේක සාකච්ඡා කරලා, හරි ක්‍රමවේදයක් අනුගමනය කරලා මෙය කළ යුත්තේ. නොයෙකුත් සැක සංකා ඇතිවන තත්ත්වයක් දැන් ඇති වී තිබෙනවා. ඒවා තුරන් කරලා, හරි ක්‍රමවේදනය අනුගමනය කරන්න ඕන. පසුකාලීනව ඒ පිළිබඳ දීර්ග වාර්තාවක් ඉදිරිපත් කරන්නම්.

    නීතිමය වශයෙන් මේ සඳහා මුදල් ලැබුණේ කෙසේ දැයි කියලා දැන ගැනීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසා සිටියේ ය.

    මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවනවා නේදැයි කතානායක කරූ ජයසූරිය මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, පරීක්ෂණයක් පවත්වන බවය.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 19:05

    Latest News